Posts Tagged With: සිංහලබෞද්ධ

වැදීමේ අපේ උරුමය

සංස්කාරක සටහන:- මෙය 2013 වර්ෂයේදී රිටිගල ජයසේන විසින් සිය පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියූ ලිපියකි. මෙම ලිපිය මුල්වරට ෆේස්බුක් අඩවියේ “දණ්ඩ නමස්කාරයේ අපේ උරුමය” යන මාතෘකාව යටතේ 2013 අප්‍රේල් 19 දින පලවිණි. ලිපියට රිටිගල ජයසේනගේ ෆෙස්බුක් පිටුවේ වැටුනු අදහස් වලට ඔහු දැමූ ප්‍රතිචාර අනුව රිටිගල මෙම ලිපිය සංස්කරණය කර තිබෙන බව පෙනෙන්න තියනවා. මේ පළකරන්නේ එසේ සංස්කරණය කර වැඩිදියුණු කෙරූ අනුවාදයයි.

************************************************************************

සිංහල-බෞද්ධ පවුල් වල ඉතා තදින් මුල්බැසගෙන ඇති හා අපේ පාරම්පරික ගුනධර්මයක් ලෙස ජනමාධ්‍ය හා පාසැල් වලදී උත්කර්ෂයට නැංවෙන “වැඩිහිටියන්ට වැදීම” යන චාරිත්‍රය අරභයා ඇතිවූ වත්පොත් සංවාදයකදී මා මෙසේ පවසා සිටියා.

//කැමති ඔනෑම් කෙනෙක් තමන් කැමති ඔනෑම කෙනකුට වැන්දාට කමක් නැත. මෙය තරමක් පසුගාමි ගෝත්‍රික චාරිත්‍රයක් (නූතන ලෝකය විසින් අතහැර දැමූ) නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒ වගේම මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු නොවෙනවා පමනක් නොව කාටවත් වඳින්නේද නැත. මගේ දරුවන්ද අවුරුදු 18 පසුවී ඔවුන්ම තීරණය කොට කාට හෝ වැන්දොත් මිස මාගෙ බාරයෙ සිටින තාක් කල් කිසිවකුට වැඳීමට මම ඉඩදෙන්නේද නැත. කිසිවෙකු මාගෙ දරුවන්ගෙන් බලෙන් වැඳුම් ලබා ගැනීම්ට උත්සාහ කලහොත් හෝ කිසිවකුට වැඳීමට බලපෑම් කලහොත්, ලමා අපචාරය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගනිමි.//

ඒ වත්පොතේ මනඃකල්පිත චරිතයක් වන “රිටිගල ජයසේන” ක්‍රියා කරන ආකාරයි. මාගෙ සැබැ ජීවිතයේ ඇත්ත කතාව මෙතරම් සරල නැහැ.

“වැඩිහිටියන්ට වැඳීම” කියල අපි අද තරමක් නූතන ලෝකයට තරමක් හෝ පෑහෙන විදිහට වෙනස් කරගෙන තියෙන , සිංහල බෞද්ධ චාරිත්‍රයක් විධිහට ඉහලින්ම තියාගෙන ඉන්න, ඒ වගේම අපේ දරුවන්ට බලෙන්ම වාගෙ පුරුදු කරන මේ සිරිතේ මූලයන් හා ඒ සිරිත මීට අවුරුදු සිය ගානකට කලින් ක්‍රියාත්මක වුන විදිහ විමසා බැලුවොත් මේ සිරිතේ සැබෑ අරුත තේරුම් ගන්න පුලුවන්.


පලමු කාරනය තමයි “වැදීම” කියන සිරිත කොහොමවත් “සිංහල-බෞද්ධ” සංස්කෘතියට පමනක් සීමා වෙන්නෙ නෑ. බොහෝ නූතන සංස්කෘතීන් විසින් වර්තමානයේ අතැහැර දමා තිබුනත්. ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුල කිසියම් ආකාරයක “වැදීමේ” සිරිතක් අතීතයේ තිබිල තියෙනවා. වර්තමාන “සිංහල-බෞද්ධ” සංස්කෘතිය මේ සිරිත තවමත් පවත්වාගෙන යන සංස්කෘතීන් සුලු ගනනෙන් එකක්.


පොඩි වෙනසකට තියෙන්න අද අපි මේ සිරිතේ අතීත අරුත පොඩ්ඩක් වෙනස් කරගෙන “වැඩිහිටියන්ට වැඳීම” හා “පූජ්‍ය පක්ෂයට” වැඳීම යන ආකාරයකට නිර්වචනය කරගන්න උත්සාහ කරනවා. නමුත් මෙහි සැබෑ ගෝත්‍රික අරුත නම් “බලය ඇති ගෝත්‍රිකයාට යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීම”යි.


දැනටත් අපි මේ සිරිත වැඩිහිටියන්ට වැඳීම යනුවෙන් ප්‍රකාශ කලාට “වැඩිහිටි බව” පමනක් වැඳුම් ලැබීමට ප්‍රමාණවත් කරුනක් නොවේ. “බලය ඇති” හා තමන්ට “කුලයෙන්” උසස් වීම දැනට උනත් අවශ්‍ය කරුනක්. “කුලය” යනුවෙන් මෙතැන අදහස් කලේ සමාජ තත්වයයි. එහිදී වයස නොව හුදෙක්ම “බලය” වැඳුම් ලැබීමෙ සාධකය උනා. ගෝත්‍රික නායකය හෙවත් රජු පූජ්‍ය පක්ෂයෙන් හැර අනෙක් හැමෝගෙන්ම වැඳුම් ලැබුවා. ඇතැම් විට රජුගේ වැඩිමහල් ඥාතීන් පව රජුට වැන්දා. එමෙනම ඇමතියන්, නින්දගම් හිමියන් ඔවුන්ගේ නින්දගම් වාසි කුල හීනයන්ගෙන් අනිවාර්යයෙන්ම වැඳුම් ලැබුවා. සැමියා බිරිඳගෙන් වැඳුම්  ලැබුවා. අදටත් ලංකාවේ ඇතැම් පලාත් ව්ල ඇතැම් විවාහෝත්සව වලදී මනමාලිය ලවා මනමාලයාට වැන්ඳවීම ක්‍රියාත්මක වෙනවා.


අපි මේ සිරිත් ක්‍රමයෙන් අතහැර ගනිමින් ඉන්නවා. නමුත් මේ අත් හැරීම එක්වරම කිරීමට සමාජය ඉඩ නොදෙන නිසා අපි දැන් “දෙමාපියන්ට පමනක් වඳිමු”, “ගුරුවරුන්ට පමනක් වඳිමු” වගේ නිර්වචන වලට අමාරුවෙන් එලඹෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මොනතරම් මූලධර්මවාදී සිංහල බෞද්ධයෙක් උනත් බිරිඳ සැමියාට ප්‍රසිද්ධියේ දනගසා වැඳිය යුතුය වැනි මතයක අද සිටී යයි හිතන්නට අමාරුයි. නමුත් කෙතරම් නූතනත්වයට අනුගතවූ සිංහල බෞද්ධයෙක් උනත් “දරුවන් දෙමාපියට හා ගුරුවරුන්ට ප්‍රසිද්ධ සභාවක දනගසා වැඳිය යුතුයි” යන මතය සමග ලොකු අවුලක් නෑ. මෙහිදි තේරුන් ගතයුතු කරුන නම් නූතනත්වය විසින් අතහරින්නට යෝජනාකරන ගෝත්‍රික සිරිතක් එක්වරම අත් හැරගත නොහැකි වීමේ සංකුලතාවයකින් අපි පෙලෙන බවයි.

හැබැයි හැම අවස්ථාවකම බලය ඇති කෙනෙක් බලය නැති කෙනෙක්ගෙන් වැඳුම් ලබනවා කියන්න බෑ. බලය ඇති තරුණ කෙනෙක් තමන්ගෙ වසයක අබල දුබල විශ්‍රාමික ගුරුවරුන්ට හෝ වයසක දුප්පත් වැඩිහිටි නෑයෙක්ට වැඳීමේදී ක්‍රියාත්මක වෙන්නෙ බලය පිලිබඳ සමීකරණයක් නෙමෙයි. එතැනදී ගෞරවය දැක්වීම තමයි සංකේතවත් වෙන්නෙ. නමුත් මේ අවස්ථාවල උනත් බොහෝවිට සිය හදපිරි ගෞරවය පිරිනමනවා වෙනුවට බොහෝ අය මේක කරන්න ප්‍රදර්ශනාත්මකව (සෙස්සන්ට පෙනෙන්න). හතරගාතෙ දමා වඳින කෙනෙක් කියන්නෙ “නිරහංකාර යහපත් කෙනෙක්” කියන මතය ලොකුවට සමාජගත වෙලා තියෙන නිසා ගොඩ දෙනෙක් මේ ක්‍රමයට ඉතා පහසුවෙන් ලකුනු රැස් කරනවා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගෙ හදවතේ ඒ ගෞරවය ඇත්තටම නෑ.

මේ වැඳීම කියන එක අපේ සංස්කෘතියේ ලොකු සංකේතයක් ලෙස හිතන අය මේක තුලින් යම් බලහත්කාර කමක් කරනවා. කුඩාවුන්ට මේක හුරු කරන්නෙ බලෙන්. හතරගාතය දමා පොලවේ වැටී වැඳීම කියන්නෙ ටිකක් අපහසු හා අස්වාභාවික ඉරියව්වක්. අනික එහෙම බිම වැටී වඳින්න තරම් හැම තැනම බිම පිරිසුදුත් නෑ. මේක මට නම් බොහොම අපහසු ඉරියව්වක්. මීට වඩා ප්‍රායෝගික ආචාර ක්‍රමයක් තියෙනවා නම් මම කැමතියි. ජපනාගෙ කොන්ද නමා ආචාර කිරීම තරමක් අපහසු උනාට මෙච්චර අස්වාභාවික නෑ. නමුත් මේක වඩා ප්‍රායෝගික විදිහකට වෙනස් කරගන්න බැරි මේක අපේ අත් හරින්න බැරි උරුමයක් කියල හිතන මූලධර්මවාදීන් නිසා.

මාගේ දරුවන්ට මම පෞද්ගලිකව දන්ඩ නමස්කාර සිරිත හුරු නොකලත්, පාසැලෙන් හුරු කිරීම හා නෑදෑ හිත-මිතුරන්ගේ සම වයස් කාන්ඩ වල දරුවන්ගේ ඇසුර නිසා ඔවුන්ද ඇතැම් අවස්ථාවල මේ සිරිත නොකලොත් අපහසුතා වලට පත්වීම් වලට ලක්වෙනවා. මාගේ අදහස් තේරුම් ගත හැකි යයි සිතන මිතුරන්ට මේ ගැන පවසා ඇති නිසා, ඔවුන්ගේ පවුල් තුල මේ සිරිත තදින්ම තිබුනත් මා සිරිත නොකරන බව දන්නා බැවින් ඒ අවස්ථා වලින් මා සහ මගේ දරුවන් “මුදා හැරීමට” තරම් ඔවුන් කාරුනිකයි. නමුත් “සිංහල බෞද්ධ” අධිපතිවාදී මත දරන හා “වැඩිහිටියන් නැමඳීම” යනු අපේ සංස්කෘතියේ ලොකුම සංකේතය යැයි මූලධර්මවාදීව කල්පනාකරන ඇතැම් නෑදෑයන් හා මිතුරන් නිසා මම ඇතැම් අවස්ථාවල අපහසුතා වලට ලක්වෙනවා. ඔවුන්ගේ හොඳ හිත පලුදු කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මුවින් නොබැන මගේ දරුවන් මේ දන්ඩ නමස්කාර සිරිත කරනු බලා හිඳීමට මට සිදු වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි මගේ ඇතැම් මූලධර්මවාදී මිතුරන් නිසා මේ “වැඩිහිටියන්ට නැමදීම” යනුවෙන් පවසා අපව රවටාගන්න “බලය ඇති තැනට වැඳීමෙ” සිරිතේ සැබෑ ස්වභාව්ය එලියට එන අවස්ථා ඇති වෙලා තිබෙනවා. මේ එවැනි අවස්ථාවක්:


දිනෙක් මම, මගේ බිරිඳ, දරු දෙදෙනා, මගේ රියැදුරු ලෙස ඇතැම් විටෙක සේවය කරන වයස හැත්තෑවක් පමන අසල්වාසියෙක්, මාගෙ ගෙදර වැඩපල වලට උදව් දෙන අවුරුදු පනහක පමන වයස ගැහැණු කෙනෙක්, මාගෙ බිරිඳගෙ මාමා කෙනෙක් යන අය වෙනත් ගමනක් යන අතර කෙටි උවමනාවක් සඳහා මාගේ “මූලධර්මවාදී” මිතුරෙකු ගේ නිවසට ගොඩ වැදුනා. වැඩිහිටියන්ට නැමඳීම යනුවෙන් සිරිතක් පුරුදු නොකරද, සියලු පුද්ගලයන්ට තරාතිරම නොබලා, ගුන යහපත් කම පමනක් බලා, අවශ්‍ය ගෞරවය ලබාදීම හා සමානත්මතාවය යන සිරිත් මාගෙ දරුවන්ට හුරුකර ඇති බැවින් මාගේ රියැදුරු හා ගෙදර අත් උදව් දෙන කාන්තාව යන දෙදෙනාට ඔවුන් අමතන්න්නේ “චන්ද්‍රපාල සීයා” හා “සමන්තා ඇන්ටි” (ඇත්ත නම තරමක් වෙනස් කලෙමි) වශයෙනි. එමෙන්ම ඔවුන් මේ දෙදෙනා සම්බන්ධ ක්‍රියා කරනුයේ ගෙදර අනෙකුත් වැඩිහිටියන් සම්බන්දයෙන් ක්‍රියාකරන ආකාරයටමැයි.


මෙවැනි හමුවීමකදි ගෙදරින් පිටත් වෙන අවස්ථාවේදී මාගෙ මිතුරා සිය දරුවන් ලවා අමුත්තන්ගේ පාර්ශවයේ වැඩිහිටියන්ට වැන්දවීම සිදු කරනවා. මේ අවස්ථාවෙ අපි සියලු දෙනාම එකට අසුන්ගෙන සිටිය අතර, ඇතිවූ කෙටි කතා බහේදී ආ පුද්ගලයන් කවුරුද යන වග මගේ මිතුරා දැන කියාගත්තා. වැඳීමෙ “නාඩගම” පටන් ගත් මොහොතේ මා සහ මගේ බිරිඳගෙන් පටන් ගත් ඔහුගේ දරුවන් ඊලඟට “චන්ද්‍රපාල සීයා” ලඟට යොමු උනා. මෙහිදී මැදිහත්වූ මගේ මිතුරා “නෑ නෑ එයාට වඳින්න ඔනේ නෑ, මෙයාට (කාන්තාව) වඳින්න ඔනේත් නෑ. මේ මාමාට (මගේ බිරිඳගෙ මාමා) වඳින්න කො” යනුවෙන් වැඳිය යුතු ස්ථාන හා නොවැඳිය යුතු ස්ථාන පැහැදිලි කර දුන්නා.


ආපසු ගෙදර යන අතර වාහනයේදි මාගෙ එවකට හය හැවිරිදි දියනිය මෙසේ ඇසුවා. “ඇයි තාත්ති ඒ ගොල්ල චන්ද්‍රපාල සීයටයි, සමන්තා ඇන්ටිටයි වැන්දේ නැත්තේ”. චන්ද්‍රපාල හා සමන්තා ඉදිරියේදී මෙයට නිසි පිලිතුරක් දීමට මම අපොහොසත් උනා. කෙසේ උනත් මාගෙ මිතුරා ඔහුගේ දරුවන්ට උගන්වන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම හෝ සානුකම්පිත, සමානාත්මවාදී වීම නොවන බව පැහැදිලියි. සමහරවිට “සමානාත්මතාවය” යනු “සිංහල බෞද්ධ” සංකල්පයක් නොවේ වන්නට පුලුවන්. 

************************************************************************

Categories: රිටිගල ජයසේන | Tags: , , , , | Leave a comment

A WordPress.com Website.