Posts Tagged With: සතුට

‘සදාචාරය’ සාපෙක්ෂද නිරපේක්ෂද?

සංස්කාරක සටහන:- රිටිගල ජයසේන විසින් ඉතා මෑතකදී පලකෙරුණු මෙම ලිපිය තුල රිටිගල සිය සදාචාරය පිළිබද නියමය හෙවත් “එතිකල් තියරි එක” පැහැදිලි කරනු ලබයි. දාර්ශනිකයින් සදාචාරය ගැන කතාකරන විට සදාචාරයේ සාප‌ේක්ෂ නිරපේක්ෂ බව ගැන කතාකරයි. “සදාචාරය සාපේක්ෂයි” යනුවෙන් අදහස් වෙන්නේ හරි වැරැද්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවාය යන අදහසයි. හරි වැරැද්ද සම්බන්ධයෙන් සියලු දෙනාටම සියලු සංස්කෘති වලටම පිලිගත හැකි “පොදු නිර්නායක” තියනවාය යන අදහස උඩ ගොඩනැගුන සදාචාර තියරි “නිරපේක්ෂ සදාචාර තියරි” වශයෙන් හැදින්වේ.

මෙම සටහන තුල ස්ථානයක රිටිගල විසින් “සදාචාරය අනිවාර්යෙන්ම සාපේක්ෂයි” යනුවෙන් සදහන් කලද, රිටිගලගේ සදාචාර තියරිය නිරපේක්ෂ ආරක් ගනී. රිටිගල විසින් සදාචාරය “පවතින සමාජ ආකෘතිය හා එහි සමබරතාවය” හා බැදෙන බව පැවසීමෙන් මේ බව පැහැදිලි වේ. නිරපේක්ෂ සදාචාර තියරි වලින් හොද හා නරක වෙන් කර හදුනාගැනීමට යම් කිසි “රෙසපි එකක්” ලබා දෙනු ලැබේ. රිටිගල ද මෙම ලිපිය තුල හොද නරක වෙන්කරන්න “නිර්නායකයක්” හෙවත් “රෙසපි එකක්” ලබාදේ. සමස්ථ සමාජයේ සතුට හා එබැවින් “මගේ සතුට” මැක්සිමයිස් කරගැනීම පිණිස යම් ක්‍රියාවක් ඉවහල් වේ නම් එය “හොද” ක්‍රියාවක්ය යන්න ඒ රෙසපි එකයි. එබැවින් දැනට උද්ගත නොවුන “ක්ලෝනකරණය හරිද වැරදිද” වැනි සදාචාර ගැටලුද මේ රෙසපි යන ඇප්ලයි කිරීමෙන් විසදිය හැකි බව රිටිගලගේ මතය බව මට හැගේ. ඔහුගේ සදාචාර තියරිය “නිරපේක්ෂ ආරක්” ගනී යැයි මා සදහන් කලේ එබැවිනි.

සාපේක්ෂ සදාචාර තියරි වල රෙසපි වල ස්වභාවය මේ ආකාරය: “ආගමික පොතේ තියෙන්නෙ මොනවද බලන්න ඔ්නි”….”අපේ සංස්කෘතියට ගැලපෙනවද බලන්න ඔ්නි” යනාදී වශයෙනි. නමුත්, මේ ආකාරයේ රෙසපි හරහා “අලුත් සදාචාර ගැටලු” විසදිය නොහැක. උදාහරණ ලෙස, සංස්කෘති හා ආගම් හටගත් කාල වල හෝ ආගමික ග්‍රන්ථ ලියැවුණු කාල වල “ක්ලෝනකරණයේ තාක්ෂණය” දියුණුව නොතිබුණ බැවින් එහි හරි වැරැද්ද ගැන අදහසක් ආගම් තුල හෝ සංස්කෘති තුල නැත. එබැවින්, සදාචාරය සම්බන්ධ “සාපේක්ෂ රෙසපි” වලට වඩා මෙම ලිපිය තුල රිටිගල ඉදිරිපත් කරන “නිරපේක්ෂ රෙසපි” එක බලවත්ය.

යුක්ලිඩීය ඡ්‍යාමිතියේ යම් යම් axioms ඇත්තේ යම් සේද රිටිගලගේ සදාචාර තියරියේ එන “සතුට වැඩිකිරීම” යන කාරණය ඔහු ගන්නේ axiom එකක් වශයෙනි. එබැවින්, එහි සත්‍ය-අසත්‍යභාවය ගැන රිටිගල එතරම් වද නොවනු ඇතැයි යන්න මගේ හැගීමයි.

සංස්කාරක සටහන මෙතනින් අවසන්ය. පහතින් ඇත්තේ සදාචාරය ගැන රිටිගලයානු දැක්මයි. කිවයුතු තවත් දෙයක් නම් රිටිගල කපු මහතාගේ ධර්මයේ මා ඉදිරිපත් කල මෙකී exegesis එකට රිටිගල ජයසේන ඇතැම් විට එකග නොවනු ඇත. එලෙස එකග නොවන්නේ නම් ඔහු එය කමෙන්ට් හරහා පැහැදිලි කරනු ඇත. ඒ පැහැදිලි කිරීම් හා මෙම සංස්කාරක සටහන් අතර පරස්පර බවක් පෙනුනොත් ඒ ගැන නිරාගමික දේවලයේ රිටිගල ජයසේනගෙන් විමසීම මැනවි. මන්දයත්, සංස්කාරක වශයෙන් මා කලේ රිටි ධර්මයේ exegesis එකක් පමණක් බැවිනි.

************************************************************************

මේක බොහොම ජනප්‍රිය බෝරින් දාර්ශනික සංවාදයක්.

සදාචාරය හා ආචාර ධර්ම කිව්වහම මේ මොකක් ගැනද කතා කරන්නෙ කියල පොඩි ප්‍රශ්නයක් එනවා නම් සිංහලෙන් කිව්වොත් මේ කතා කරන්නෙ මෝරෑලිටි හා එතික්ස් ගැන.

‘සදාචාරය’ සාපෙක්ෂද නිරපේක්ෂද? ඔය සංවාදයට මම හේතූන් කිහිපයක් නිසාම කැමති නෑ. කැමති නැති පලමු හේතුව තමයි ඔය ප්‍රශ්නය ඔය විදිහට ඇහුවාම ඒක අනවශ්‍ය ලෙස ආයෙත් ප්‍රමූල ධර්ම වෙත නැවත ගොස්, මුල ඉඳලාම සංවාද කරන්න වෙන තැනකට අරන් යන්න ඇතැම් පාර්ශව වලට දොර හැර දීමක් වීම. මම මේ මාතෘකාව සම්බදව නොයෙකුත් දෙනා සමග නොයෙකුත් ආකාරයේ සංවාද බර ගානක් කරල තියෙනවා. නමුත් අවාසනාවකට වගේ කමෙන්ට් පරම්පරාගතව එන ඒ ධර්ම කොටස්, නෝට් ආරූඪ කිරීමට තාමත් මම අසමත් වෙලා තියෙන නිසා මේ ගැන ඇතිවන සංවාදයකදී ලින්කුවක් ලෙස තනි නෝට් එකක් ලබාදී ඒ සංවාදයෙන් අයින් වීමට හැකියාවක් තාමත් නෑ. මේ සංවාදයට මම අකමැති අනික් හේතුව ඔන්න ඕක.


සදාචාරය පිලිබඳ කතාව එන්නෙම “සමූහයක්” සම්බන්ධ කාරනා නිසා. සමුහයේ අනෙක් අය අරභයා තමුන් කෙසේ හැසිරිය යුතුද කියන ගැටලුවට දෙන පිලිතුරු වලට තමයි සදාචාරය කියන්නෙ. කීපදෙනෙක් එකට ජීවත් වීම වඩා පහසුයි කියලා තීරණය කළහම, ඒ සමූහය අතර සම්බන්ධතා හැඩගැහෙන විදිහක් තියෙනවා. තනියම ඉඳීම වෙනුවට සමූහයක් විදිහට ඉන්න නම්, ඒ අය අතර, ඒ අරමුණ වෙනුවෙන් ‘හොඳ දේවල්’ සහ ‘නරක දේවල්’ ගැන යම් එකඟතා මාලාවක් ඕනෑ වෙනවා. තනියම ජීවත්වීම, සමූහයක් එක්ක ඉන්න එකට වඩා අමාරැ වෙනකොට, මේ ‘මිණුම් දඬු’ වැඩි හරියක් කැමැත්තෙන් වගේම අකමැත්තෙන් වුණත් බාර ගන්න වෙනවා. එහෙම නැත්නම් සමූහයක් එක්ක ඉන්න බැහැ.


සමාජයේ පොදු සුබ සිද්ධිය සඳහා අපිට යුතුකම් හා වගකීම් තියෙනවා වගේ එකක් සදාචාර නිර්වචනයේ මුලට දාගත්තහම එන අවුල තමයි “අපි මොන එහෙකටද අනුන් ගැන හිතන්න ඔනෑ?” කියන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නය අහන්න සිද්දවෙන එක. ඔය ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයට ආගමික පුද්ගලයන්ට උත්තරයක් තියෙනවා. ඒ අය විස්වාස කරනවා ස්වභාවික යුක්තියක් පිලිබඳව. මේක දෙවියන් වහන්සෙ හෝ කර්මය වගේ නොයෙකුත් ආකෘතීන් වලින් ආවාට අන්තිම ඔවුන් විශ්වාශ කරන්නෙ තමුන් කරපු ‘වැරදි’ වලට පොලියත් එක්කම රිටර්න් එක හම්බුවෙන ස්වාභාවික යුක්ති ධර්මයක් පිලිබඳව. ඒ හින්දා පවතින සදාචාරය රැකීම ඔවුන් කරන්නෙ පෞද්ගලික විඳ වීමකට ඇති බිය නිසා. මේක තාර්කිකයිනෙ. එහෙම ස්වාභාවික යුක්තියක් තියෙනවානම් එහෙම ජීවත් වෙන්න ඔනෑනෙ. නමුත් එහෙම ස්වභාවික යුක්තියක් ගැන විශ්වාශයක් නැති නිරාගමික පුද්ගලයන් ගෙ සදාචාරයෙ පදනම මොකක්ද?


කෙටියෙන් කියන්න ගියාමත් මේකෙ නොයෙකුත් හිල් හිටිනවා. කමක් නෑ ඔන්න ඔහේ කියල දානවා. සදාචාරයේ ආකෘතිය පිලිබඳ රිටිගලගේ විග්‍රහය “ඉතාම කෙටියෙන්” (කෙටියෙන් කිව්වටම මේක එහෙම කෙටියෙන් ලියන්න බෑ) ගත්තොත් මෙහෙමයි:


නිරපේක්ෂ සදාචාරය කියන්නෙ “thou shall not kill” හෝ “පාණාතිපාතා වේරමණී” වගේ කිසිම සන්දර්භයකින් තොරව ඔහේ පුනරුච්චරනය කරන මන්ත්‍රයන් නම්. සදාචාරය කියන්නෙ එහෙම කන්ටෙස්ට් එකක් නැතුව රකින්න පුලුවන් වෘතයන් නෙමෙයි කියන එකට ඔනෑම කෙනෙක් එකඟවෙයි මම හිතන්නෙ. මොකද ඔය මන්ත්‍රය ජප කරන අයත් අන්තිමේදී මිනී මරනවා. ඒක ආත්මාරක්ෂාවට වෙන්න පුලුවන්, යුද්ධකදි වෙන්න පුලුවන්, නීත්‍යානුකූලා මරණ දන්ඩනය වගේ තැනකදි වෙන්න පුලුවන්. නමුත් කන්ටෙක්ස්ට් එක අනුව මිනීමැරීම කියන්නෙ ජස්ටිෆයි කරන්න පුලුවන් දෙයක් බවට පත්විය හැකි දෙයක්.

සදාචාරය අනිවාරයෙන්ම සාපේක්ෂයි. නමුත් වැදගත් කතාව ඒක සාපේක්ෂද නැද්ද යන්න නෙමෙයි. මොකකටද සාපේක්ෂ විය යුත්තේ කියල එකඟතාවයකට පැමිණීම.

සදාචාරය කියන්නෙ උපකරණයක්. ඒ කියන්නෙ ඊලඟට අහන්න ඔනේ ප්‍රශ්නෙ “මොකක් වෙනුවෙන් සදාචාරය කියල දෙයක් තිබිය යුත්තේ” කියන එක.

හරිම සිම්පල්! “සදාචාරය” පවතින සමාජ ආකෘතියේ පැවැත්ම, හා එහි සමබරතාවය අරමුණු කරගෙන පැවතිය යුත්තක්!

අපිට ඉතාම ප්‍රබලව එකඟවිය හැකි සදාචාරයන් ක්‍රමයෙන් ඒ සමාජය තුල නීතීන් බවට පත්වෙනවා. ඒ වගේම නීතීන් බවට පත් නොවූවත් ආචාර ධර්ම ලෙස පවතින් සදාචාර අංගයනුත් සමාජයක පැවත්මට අත්‍යාවශයි.


එබැවින් මගේ නිර්වචනය අනුව ‘සදාචාරය’ අප විසින් පවත්වාගැනීමට එකඟවූ පොදු සමාජයේ ආකෘතියට සාපෙක්ෂයි. විශ්වීය සදාචාර හරයන් තියෙන්න පුලුවන්, නමුත් එහෙම තියෙන්න නම් විශ්වීය සමාජ ආකෘතියකුත් තියෙන්නෙ ඔනේ. ලෝකය පුරාම සමාජ ආකෘතිය සම්මත ආකෘතියකට අභිසාරි වෙනකොට සදාචාර්ය හරයනුත් අභිසාරී වෙනවා හා එසේ විය යුතුයි. නැත්නම් වෙන්නෙ පවතින සමාජ ආකෘතියට ගැලපෙන්නෙ නැති හරයන් නිසා සමාජය වියවුලට පත්වීම.


පොදු සමාජයේ ආකෘතියෙන් බැහැරව තම තමන්ගෙ පෞද්ගලික හෝ කුඩා කන්ඩායම් ලෙස පවත්වාගන්නා හර පද්ධති වලට සාපේක්ෂ, පෞද්ගලික සදාචාරය නිර්ණායක ගැන නිරන්තර සංවාදයක් හෝ විවාදයක් ඇතිවීම හොඳ දෙයක්. මේ සංවාදයෙ අතුරු පල ලෙස පවතින පොදු සදාචාරය පද්ධතිය වඩා හොඳ තැනකට යන්න හෝ බිඳ වැටෙන්න පුලුවන්. පවතින ක්‍රමය අවුල් නම් එය බිඳවැටීම අවුලක් නෙමෙයි.


සදාචාරයේ සාපේක්ෂ බව ගැන මීට වඩා තව අමුතුවෙන් කියන්නට යමක් නෑ. එය හැමවිටම පවතින සමාජයේ ආකෘතියට සාපේක්ෂයි. නමුත් ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මෙතැනින් මතුවෙනවා. එනම් “පවතින සමාජයේ ආකෘතිය කෙබඳු විය යුතුද?” කියන එක.

සමාජයේ ආකෘතිය සකස් විය යුත්තේ ඒ තුල ජීවත්වන තනි තනි පුද්ගලයන්ගේ සතුට පවත්වාගැනීමටය කියන එක තමයි මගේ නිර්වචනය. වෙනත් වචන වලින් කිව්වොත් සමාජය පැවතිය යුත්තේ “මගේ සතුට වෙනුවෙන්”. මේක බොහෝම ආර්ත්මාර්ථකාමී නිර්වචනයක් වගේ පේනවද? නෑ “මගේ සතුට” තමයි අපිට ප්‍රමූල ධර්ම වලින් නිර්වචනය කරන්න පුලුවන් එකම දේ. ඇත්තටම කිව්වොත් මේකට නිර්වචන අනවශ්‍යයි.


මිනිසා කියන්නෙ කොටියා හෝ කිඹුලා වගේ තනිව තනිව පවතින්න පුලුවන් සතෙක් නෙමෙයිනෙ. මිනිසා කියන්නෙ වෘකයා වගේ සමාජමය සත්වයෙක්. කන්ඩායමකින් තොරව පැවත්මක් ඌට නෑ. ඒ නිසා “මගේ” සතුට සෙවීමේ ව්‍යායාමය ‘ගේම්-තියරි’ (game theory) එක අනුව ‘අපේ සමස්ත සතුටේ එකතුව’ සෙවීමේ ව්‍යායාමය බවට ඉබේම පත්වෙනවා. දැන් සමාජයේ ඉන්නෙ කවුරුත් විශේෂ නෑනෙ. එතකොට හැමෝම ‘මගේ සතුට’ හොයන කොට ඒක ඉබේම ‘අපේ සතුට’ කිය පොදු නිර්වචනය කරා යොමුවෙනවා.. එතකොට ඉබේම ‘මගේ සතුටට’ සීමාවන් පැනවෙනවා. නමුත් වැදගත් දේ තමයි එම සීමාවන් පැනවෙන්නෙ ප්‍රායෝගික හේතූන් නිසා වීම. ප්‍රායෝගික නොවන හේතුවන් නිසා “මගේ සතුටට” අනවශ්‍ය සීමා දාගන්න ඔනේ නෑ.


අවසාන සමාලෝචනය මෙහෙමයි.

*මගේ සතුට වෙනුවෙන් සමාජය පැවතිය යුතුය.

*ගේම් තියරිය අනුව මගේ පෞද්ගලික සතුට උපරිම කරගත හැකි සමාජ ආකෘතිය සොයාගත යුතුය. (බොහෝවිට මේ ආකෘතිය ගතික ආකෘතියක්. ස්ථිතික විසඳුමක් හෝ යුටෝපියානු අවසන් සැකැස්මක් නෑ.)

* අන්න ඒ සමාජයේ පැවැත්ම තහවුරු කිරීමට සදාචාරය පැවතිය යුතුය.


අවසාන සමාලෝචනය කලාට පස්සෙ ආයෙ අවසන් සමාලෝචනය ගැන සමාලෝචනය මෙහෙමයි..


“මගේ සතුට උපරිම කිරීමට සමත් සමාජ ආකෘතිය සොයාගත යුතුය, මගේ සතුට වෙනුවෙන් ඒ සමාජය පැවතිය යුතුය” කියන එක තමයි හැමෝම සිතිය යුතු. හැමෝම එහෙම හිතනව නම් හා මැටි වැඩ නොකර ඇත්තටම තමන්ගෙ සතුට දීර්ඝ කාලීනව පවත්වාගන්න පුලුවන් සමාජ ආකෘතිය ගේම්-තියරිය භාවිතයෙන් හොයාගන්නවා කියන අරමුණ තමයි හැමෝටම තිබිය යුත්තේ. උදාහරණයක් ලෙස යාලුවො දෙන්නෙක් කැලේක අතර මං වෙලා අමාරුවෙන් පාර හොයාගෙන දවස් ගානක් තිස්සෙ හාමතෙ කැලේ මැද්දෙන් එනවා කියමු. මින් එක්කෙනෙක්ගෙ බැක් පැක් එකේ ලොකු චොකලට් එකක් තියෙනවා හා අනෙක් පුද්ගලයා ඒක තියෙන බව දන්නවා කියමු. චොකලට් එක තියෙන කෙනා මම නම් “මගේ සතුට උපරිම වන” විදිහ මේ චොකලට් එක හොරෙන්ම තනියෙන් කෑමද නැත්නම් අනෙකා සමග බෙදාගෙන කෑමද? ඔන්න ඔය වගේ අවස්ථාවල අපි rules of thumb විදිහට පාවිච්චි කරන ඇතැම් සදාචාර මූලධර්මයන් ‘පොදු යහපත’, වගේ දේවල් වෙනුවෙන් පවතිනවා වගේ පෙනුනාට ඇත්තටම ඒවා අන්තිමට පෞද්ගලික යහපත වෙනුවෙන් එකඟවූ දේවල් නේද? මේ ආත්මාර්ථකාමයේ බයි-ප්‍රඩක්ට් එකක් විදිහට තමයි ඔය කලින් කිව්ව යුතුකම් වගකීම් සහිත පරාර්ථකාමය මතුවෙන්නෙ. මිනිසාගෙ ආත්මාර්ථකාමය පවතින්නෙ තියෙන්නෙ කුඩා ඉඩක පොඩි වෙලාවක විතරයි. දිගුකාලීන පැවත්ම ගැන හිතුවහම කරන්න පුලුවන් ආත්මාර්ථකාමීම වැඩේ තමයි පරාර්ථකාමී වෙන එක.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , , | Leave a comment

A WordPress.com Website.