Posts Tagged With: සංස්කෘතිය

“උපත” යනු කුමක්ද?

සංස්කාරක සටහන:- ” ‘උපත’ යනු කුමක්ද? ” යනුවෙන් හදුන්වා තිබුණද මෙය රිටිගල ජයසේනයන් විසින් ජෝතිෂ්‍ය පිළිබදව ලියන ලද ලිපියකි. මෙය ලියැවී ඇත්තේ 2015 වර්ෂයේය.

************************************************************************

“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව් කල්පනා කල අවස්තාවද, කලලයේ ස්නායු පද්ධතිය වැඩ කරන්නට පටන් ගැනීමද, කලලයේ හෘද ස්පන්දනය පටන් ගැනීමද, පලමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්තාවද, මව් කුසින් ඔලුව එලියට ආ අවස්ථාවද, මව් කුසින් කකුල එලියට ආ අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්තාවද, දරුවා අඬන්නට පටන්ගත් අවස්තාවද, නො එසේ නම ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්තාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක් බුකිය තුල පැන නැගුන බැවින් මේ සටහන තබමි.

ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට උපන් වේලාව හොයාගැනීම ගැනනම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. උපන් වේලාව නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකයුතු අවසන්ව අත පිහදාගත් නර්ස් නෝනා තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයට සැමියා විසින් තෑගි දුන් ලාබ අත් ඔරලෝසුවේ හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වෙලාවායි. දෛවෝපගත ලෙස මේ වෙලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට වෙලාවට එලියට ගත්තෙ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. හැම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීලාගෙ ලමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියනනේ එක එක දේය) වැඩ කොට ලැබෙන පල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවටදැයි තීරනය වන්නේද දෛවයට අනුවය.

කෝකටත් කියා ලමයින් උපන් වෙලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද මේ වෙන තුරු මොනම කාරනකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ලමයින්ට දෙන නම්ද ගර්භනි වෙන්නත් පෙරම තීරනය කල මා සහ මගේ බිරිඳ වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ ද දෛවය අනුවය. බැරි වෙලා හරි අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජ්‍යෝතිෂකරුවා කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරනය කලොත් එසේ වන්නේද දෛවය අනුවය.

කොටින්ම කියනවා නම් මේ දොරමඩලාව බලා මින්පසු උපන් වේලාව යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වෙලාවම යැයි තීරනකොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කලහොත් ඒක වෙන්නේද මුලු ලංකාවෙම දෛවය අනුවය (රටකටත් කේන්දරයක් තියනවලු හොඳේ?).

මොකා මොනවා කිව්වත්, තව අවුරුදු මිලියනකින් පසු බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරත් උපන් වේලාව අනුව කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇත්තේ. කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ වීමයි. (Io, Europa, Ganymede and Callisto)

මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුනු තත්වයකට එලැඹෙන මිනිස් ශිස්ථාචාරය ජ්‍යොතිෂය වැනි මිත්‍යා අත් හැර දමනු ඇතැයි පවසන, නූතන විද්‍යාවෙන් ඔලුව කුරුවල් කර ගත් ඇත්තතන්ට පහත කරුනු ටික මතක් කර දෙන්නට කැමතියි.

මීට අවුරුදු දහස් ගනකට පෙරද මිනිස් ශිස්ථාචාරයන් විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන් ගමන් ගන්නා සංකීර්න පථයන් හා එම කාල රටා සෑහෙන තරම් නිවැරදිව හඳුනා ගෙන තිබුනා. පොඩි පරහකට තිබුනේ ගණිතය දියුනු වුනත් දිනක් තුල කාලය හරියටම මැනීමෙ ක්‍රම දියුනු වී තිබුනේ නැහැ. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමනක් පමනි සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා, කිතුල් පිත්ත උඩ පියවර මැන්නා.” පිරුළ අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවෙ තමන්ගේ බිරිඳ ලමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙයින් එලියට ඇවිල්ල කිව්වහම, ලමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ ලංකාවෙ “හිරු තැටිය” හොඳේ? මෙ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍ර කරුවාට කිව්වහම මනුස්සය වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. බයි ද වේ, අර පිරුළ හැදිල තියෙන්නේ රා මදින්න කිතුල් ගහකට නැගල හිටපු පොරකගෙ බිරිඳට ලමය හම්බුවුනු ආරංචිය ලැබිල, ගහ උඩ ඉඳන්ම වෙලාව මනින්න ගිහිල්ල වෙච්ච අකරතැබ්බයක් සම්බන්දව.

දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, ඉලෙක්ට්‍රොනික ඔරලෝසු වලින් අන්තිම තප්පරේට වෙලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට ජ්‍යෝතිෂයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතිගෙ චන්ද්‍රයන් ජනාවාස කරන කාලෙ වෙන කොටත්.

ග්‍රහයන්ගේ සාපේක්ෂ චලිතය වගු ගත කරල ගණන් බැලීම සම්පූර්නයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීර්ණයි තමයි. මේ රටා එකක්වත් රේඛීය සමීකරන වලට ෆිට් වෙන්නෙ නෑ. හැබැයි සංකීර්න උනාට සම්පූර්ණයෙන් ගණිතමයයි. ඉස්සර කාලෙ නක්ෂත්‍ර කරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ).

දැන් මේ ග්‍රහ චලිතය කියන ගණිතමය වැඩෙ හා ඒ රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරනය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි උනේ කියල මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන් නේ අසුවල් දවසේ අසුවල් වේලාවට සූර්ය ග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විස්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙත් නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” කියල ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්න කමට මට හිතුනේ.

හැබැයි පොඩි කාලෙ මම දැනගෙන හිටියේ නැහැ, පරීක්ෂන, නිරීක්ෂන, හා නිගමන හරහා මිසක් වෙනත් ක්‍රම වලට දැනුම නිර්මාණය කරන්න පුලුවන් කියල. ජ්‍යෝතිෂ කට්ටිය පරීක්ෂන, සංගනන, දත්ත පරීක්ෂාවන් කරන්න නැහැ කියල අපි දන්නවනෙ. ඒ හින්ද මම හිතන් හිටිය ඕක අලි බොරුවක් කියල. ලොකු වෙලා නලින් ද සිල්වා ඇදුරු තුමා කියල දුන්නට පස්සෙ තමා දැනගත්තෙ, “උද්ගමනය” හරහා පමනක් දැනුම ගොඩ නැගීම බටහිර ක්‍රමයක්ය; අපේ ක්‍රමය අනුව ප්‍රත්‍යක්ෂ හෙවත් මනසේ ඉබේම පහලවන දැනුම් කියල දේකුත් ඕකට එකතු කරනවා කියල.

දැන් ඔය ප්‍රත්‍යක්ෂ කියන ඒව එන්නෙ මෙහෙමයි. අපේ “ගණිතයා” හැන්දෑවෙ රා කට්ටක් එහෙම ගහල හාන්සි පුටුවෙ වාඩි වෙලා කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවානේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අසුවල් ග්‍රහය අසුවල් තැන තියෙන නිසා තමයි ඒ” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්. සුරා සූදු දුම් පානයෙන් වැලකිලා හත් දවසක් පේ වෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක් ගෙන් අහල උනත් ප්‍රත්‍යක්ෂ දැනුම් ලබා ගන්න පුලුවන්. ඔන්න ඔහොමයි කතාව.

දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන “ගණිතයො” හොයා ගනීවි බ්‍රහස්පතිගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් (Ganymede) අටේ ඉඳීම නිසා විවාහය කල් යන්නෙ කොහොමද කියල.

Advertisement
Categories: රිටිගල ජයසේන | Tags: , , , , | Leave a comment

(රිටිගල ජයසේන) අප්‍රසිද්ධ බුකී සටහන් – 1

සංස්කාරක සටහන:- ඇඳුම සම්බන්ධයෙන් වූ සංවාදයකදී රිටිගල ජයසේන දැක්වූ අදහස් කිහිපයකි. මේ අදහස් මෙම බ්ලොග් අඩවියට අදාල වන්නේ ආගම් මගින් ද ඇතැම් ඇඳුම් වර්ග එහි අනුගාමිකයින් මත (ඇතැම් විට අනුගාමියින්ගෙන්ම එහාට ගොස් සමස්ථ සමාජය මත) පටවන වත්මන් සන්ධර්භය නිසාය. මේ 2014 නොවැම්බර් ලියැවුණු අදහස් වෙයි.

************************************************************************

වෙනත් ත්‍රෙඩ් එකක දාපු කමෙන්ටුවක්:

ලොකු තර්ක වලට යන්න කලින් අපි මුලින්ම කල්පනා කරන්න ඔනේ අපි ඇඳුම් අඳින්නෙ මොකටද කියල. ඇඳුම් අඳින්නෙ අපේ ශරීරය අනෙක් මිනිස්සුන්ගේ ඇස් වලින් ඈත් කරල තියාගන්න (හෙවත් විලි වසා ගැනීමට) පමණක් නොවේ නේ. ඒක ඇඳුම් වලින් ගන්නා එක කාර්යයක් පමණයි. (ඒක එකම කාර්යය නම්, කාටත් හොඳම ඇඳුම තමයි වලලු කර දක්වා දිග ගෝනියක් අරගෙන, ඇස් දෙක ගාව හිල් දෙකක් හදල ඔලුවෙ නවා ගැනීම) ඊට අමතරව තමන් යෙදෙන්නට බලාපොරොත්තුවන කාර්යය, බාහිර පරිසර තත්වය/ කාලගුණය, සමග ගැටීමට සුදුසුම ආවරණය තෝරා ගැනීම, අනෙක් පුද්ගලයන්ගේ ඇසට ප්‍රියමනාප වීම, ඔවුන් සමග සංන්නිවේදනය, සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීම ආදී ගොඩක් දේවල් එක්ක තමයි යම් සංස්කෘතියක ජනප්‍රිය වෙන ඇඳුම තීරණය වෙන්නෙ. කිසියම් සංස්කෘතියක් ලොකුම බර යොදන්නෙ ගෑනුන්ගෙ සිරුර හංගලා තියාගන්න එකට නම් ඒ සංස්කෘතියෙ ගැහැනු ඇඳුම ගෝනියක් අරගෙන ඇස් දෙක ගාව හිල් දෙකක් හදල ඔලුවෙ නවා ගැනීමට සමාන වීම අරුමයක් නෙමෙයි. සංස්කෘතික හේතූන් නිසා තමන් දැනටමත් හුරුපුරුදු යම් ඇඳුමක් වෙනස් සංස්කෘතික වටපිටාවක උනත් දිගටම ඇඳීම කාටවත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඔනේ නෑ. තමන්ගේ හුරුපුරුදු විලාසිතා වලින් තමන්ගේ තමන්ගේ අනන්‍යතාවයත් ප්‍රකාශ වෙන නිසා තමන් පදිංචි වූ අලුත් ස්ථානයේ කාලගුණ තත්වය අනුව ඒ ඇඳුම ඇඳීම් ලොකු අපහසුවක් නැත්නම් කවුරුත් තමන් කැමති තමන්ට හුරු පුරුදු ඇඳුම තමයි අඳින්නෙ. නමුත් මේකෙ යම් යම් ප්‍රායෝගික සීමා තියෙනවා. මේ සීමාවනුත් ඉක්මව ගියොත් නම් විහිලුවක් වෙනවා වගේම අන් අයට කරදරයක්, අපහසුවක්, eyesore එකක් වෙන්න පුලුවන්.

හිතන්න අපි බොහොම මහන්සිවෙලා නගර අලංකරන කටයුතු වලට වියදම් කරලා, මල් පැලකරල, වතුර මල් දාලා, තණකොල පිලිවෙලකට කපල තියෙන පාක් එකක මැද්දෙන් කලු ගෝනියක් ඔලුවෙ නවාගත්තු මිනිස් පරාණ එහෙම මෙහෙ යනවා. මේක ඉන්ග්‍රීසියෙන් කියනවා නම් eyesore එකක්. මෙතැන පොදු අවකාශය පොයිසන් වීමක් වෙනවා. මිනිස්සු අතරෙ සුහද හිනාවල් කතාබහ හුවමාරු වෙන්න ඔනේ වටපිටාවක් වෙනුවට මෙහෙම පුද්ගලයන් නිකුත් කරන්නෙ ඊට සම්පූණ ප්‍රතිවිරුද්ධ පනිවුඩයක්. මෙක සමාජයක ඉදිරිගමනට බාධාවක්. ඔය කියන ස්ථායෙ නිරුවතින් එහෙ මෙහෙ යාමයි, මේ වගේ ඇඳුමක් ඇඳගෙන යාමෙයි අතරෙ ලොකු වෙනසක් නෑ. දෙකෙන්ම වෙන්නෙ එතැන පවත්වාගන්න හදන වටපිටාව අනවශ්‍ය ලෙස අවුල් වීම.

************************************************************************

මෙතැන තියෙන්නෙ වියුක්ත තර්කයක් නෙමෙයි ප්‍රායෝගික බව පිලිබඳ ප්‍රශ්නයක්. ඇඟේ නූල පටක් වත් නැතුව යාම හා මුලු ඇඟම වහගෙන යාම අතරෙ කිසියම් ප්‍රායෝගික නමුත් සබ්ජෙක්ටිව් තැනක් හොයාගන්න පුලුවන්නේ. මේ තැන තීරනය වෙන්නෙ බොහෝවිට පවතින තත්ව මත. පවතින සංස්කෘතිය කියන්නෙ නිකන් ඉබේ කිසිම හේතුවක් නැතුව ඇතිවෙච්ච එකක් නෙමෙයිනෙ. පවතින තත්වයන් එක්ක ප්‍රායෝගිකව අනුගත වෙනකොට ඒක සමහරවිට පවතින සංස්කෘතිය සමග අනුගත වීමට සමපාත වෙයි. එහෙම වීම හෝ නොවීම ප්‍රශ්නයක් කරගත යුතු නෑ.

************************************************************************

කීප දෙනෙක්ම මම ඉදිරිපත් කරල තියෙන අදහස “ප්‍රධාන ප්‍රවාහයේ සංස්කෘතියට අනුගත වෙන්න කියල තමයි මේ තියෙන්නෙ” කියල අර්ථකතනය කරගේන “අද කපන්නම් ඌරාගෙ මාලු ඌරා උඩම තියල” වගේ ගේමකට සෙට් වේගන යන බව පේනවා. 🙂 කිසියම් සංස්කෘතියකටම අනුගත වෙනවා කියන්නෙ “මේක මෙහෙම තමයි යකෝ, මේක වෙනස් කරන්න දෙන්නෙ නෑ” වගේ අධිපතිවාදී අදහසකට තර්කයකින් තොරවම අනුගත වෙලා කටයි *කයි වහගෙන ඉඳීම නෙමෙයි නේද? මේක මෙහෙම වෙන්න ඔනේ මේ මේ හේතු නිසාය කියල පිලිගන්න පුලුවන් සාධාරන හේතු නැත්තම් එතැන කිසිම සංවාදයක් නෑ නේ.

මෙතන මම කරන්න හැදුවෙ නූතන සමාජය තුල ඒ සමාජයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා මොන වගේ සම්මුතීන් තියෙන්න ඔනේද කියන මාතෘකාවට අදහසක් ඉරිදිපත් කිරීමක් විතරයි. මේක මම අර උඩ කිව්වා වගේ වැඩිහිටියෙකු ලෙස සැලකීමෙ වයස 21 විය යුතුය කිව්වා වගේ අදහසක්. කාට හරි හිතෙනවා නම් නෑ එක 18 වෙන්න ඔනේ කියල අපිට ඒ ගැන සංවාදයක් කරන්න පුලුවන්. කවුරු හරි මගෙන් අහනවා නම් “ඇයි එහෙම සීමාවක් තියෙන්නෙ ඔනේ?” කියන ඒ ගැන නම් කතා කරන්න මට කැමැත්තක් නෑ. ඒක බොහොම වෙහෙසකර කතාවක්. ඒ ගැන එකඟත්වයක් නැත්තම් අපි ඇග්‍රී ටු ඩිස් ඇග්‍රී වෙලා නිකා ඉම්මු.

Categories: රිටිගල ජයසේන | Tags: , , , | Leave a comment

ශබ්ද දූෂණය හා ආගමික ස්ථාන

සංස්කාරක සටහන: – මෙය රිටිගල ජයසේනගේ පැරණි ලිපියක් වන අතර මෙය ලියැවුණු කාල වකවානුව ගැන මට නිශ්චිත අදහසක් නැත. ඇතැම් විට, මේ මාතෘකාව සම්බන්ධව රිටිගලගේ අදහස් දැන් වෙනස්ව තිබෙනවා වන්නට ද පුලුවනිි. ලිපියේ මා ලබාගත්තේ “සෙකියුලර් ශ්‍රී ලංකා” ව්‍යාපාරයෙන් වන අතර එම වෙබ් අඩවිය තුල “Noise pollution by religious bodies” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලිපිය හදුන්වා තිබිණි. ඉහත සදහන් “ශබ්ද දූෂණය හා ආගමික ස්ථාන” යන තේමාව මගේ නිර්මාණයකි.

************************************************************************

මෙ දවස්වල කඨින පිංකම් නිසා ළඟ පාත පන්සල් තුනකින් ලවුඩ්ස්පීකර් බණ අසන්නට ලැබේ. ඉස්සර මේ ශබ්දයට මට මල පැන්නත්, දැන් උපෙක්ෂා සහගතව ඇහෙන බණ අසන්නට පුරුදුවී ඇත. ළඟ පාත කිව්වට මෙයින් පන්සල් දෙකක් ඇත්තේ කිලොමීටරයක් පමණදුරකිනි. නමුත් මෙවා කඳු උඩ පිහිටා ඇති නිසා ලවුඩ්ස්පීකර් ශබ්දය දුරට ඇසේ.

ලවුඩ්ස්පීකර් ශබ්දයට මල පනින කාලයේ, (මීට අවුරුදු කීපයකට උඩදී) ශබ්දය පිළිබඳ ගතහැකි හරි ක්‍රියා මාර්ගයක් තිබුණේ නැත. පොලීසියට පැමිණිලි කළවිට, පැමිලිල්ල විභාගකළ පොලිස් පරීක්ෂක තුමා මට උපහාසයෙන් කියාසිටියේ “මහත්මයාට බණ/පිරිත් අජීර්නයක් තිබුණාට පොලීසියට කල හැකි දෙයක් නැත” කියාය. ඔහු තවදුරටත් කියා සිටියේ “මෙය බෞද්ධ රටක් බැවින් පන්සල් වලට ආගමික වතාවත් රිසි පරිදි කිරීමට අයිතියක් ඇති” බවය. කරබා ගෙන සමහර දවස් වලදී රෑ එළි වෙන තුරු එකදිගට ඇසෙන ශබ්දය ඉවසා වදාරනු මිස වෙන කල හැකි දෙයක් ඒ කාලයෙ තිබුණේ නැත.

මීට අවුරුදු දෙක තුනකට උඩදී, පරිසර අමාත්‍යංශයෙන් ශබ්දවිකාශන යන්ත්‍ර සම්බන්ධව නව නීතිය ගෙන ආ මොහොතේ මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. දැන්වත් කනක් ඇහිල නිවී සැනසින්ලේ නිවාඩු දවසෙ ගෙදර හිටිය හැකි යයි සිතුවෙමි. නමුත් මෙම ප්‍රීතිය පැවතුනේ ඉතා කෙටිකලකි. ලංකාවේ නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක වන්නෙ ඒ ඒ පොලීසි වල නිලධාරි මහතුන්ගේ රුචි අරුචි කම් හා නීතියක් ක්‍රියාත්මක කිරීමට “ඉහළින්” කෙතරම් බලපෑමක් “පහළට” එල්ලවේ දැයි යන්න මත බව මම අවබෝධ කොට ගතිමි.

පංසල් ශබ්ද විකාශන යන්ත්‍රයට කොතරම් ඇබ්බහි වී ඇතිද යත්, ඔවුන්ගෙ ආගමික කටයුතු කිරීමට දැන් මෙම මෙවලම නැතුවම බැරිය. බටහිර සංස්කෘතියට අපේ තරුණ පරපුර ඇබ්බැහිවීම කොතරම් භයානකදැයි පුන පුනා පැවසීමට පවා අපේ හාමුදුරුවරුන්ට මෙම “බටහිර විද්‍යාවෙන්” තනා ඇති මෙවලම නැතුව බැරිය. එබැවින් ශබ්ද විකාශන නීතිය පනවා මාස ගණනක ඇවෑමෙන්, සියලු පංසල්/පල්ලි තම පරණ පුරුදු ශබ්ද රටාවටම ආපසු පැමිණ ඇත. මේවාට විරුද්ධ වීමට නම් නඩු මාර්ග වලට අවතීර්ණ වීමට සිදුවී ඇත. සාමාන්‍ය පැමිණිල්ලකින් පොලීසිය කිසිවක් නොකරයි. පැමිණිල්ල ලියාගන්නා රාළහාමිගේ ආගම අනුවද ගන්නා ක්‍රියාමාර්ග වෙනස් වේ. නිකන් ඇඟ රිද්දා ගැනීමට නොහැකි නිසා සහ “අනේ ඔයා මේ නැති ප්‍රශ්න හදා ගන්නෙ නැතුව ඉන්න” යන මගේ බිරිඳගේ අවවාදයට ගරු කිරීමක් ලෙස දැන් මම ඇහෙන බණක්/පිරිතක්/කවියක් අසාගෙන ගෙදරට වී සිටිමි. මා අවට ඇති පංසල් එකක්වත් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ගෙන නොමැති බවත්, ඒ වාගෙම රෑ 12.00 පසු එළිවෙන තෙක් “සර්වරාත්‍රික” ශබ්ද කිරීමට බලපත්‍ර දැන් නොදෙන බවත් හොඳින් ම දනිමි.

මීට අවුරුදු 5 කට උඩදී පංසල්/පල්ලි වලට තිබුණේ අසල්වාසීන්ගේ වෙනස් අවශ්‍යතා වලට ගරු කරමින්, අනුන්ට හිරිහැරයක් නොවනසේ තමන්ගෙ කටයුතු කිරීමේ නොහැකියාව පිළිබඳ සදාචාරාත්මක අඩුවක් පමණි. ඒ එම කාලයෙ මේ සම්බන්ධ හරි නීතියක් නොතිබුණ නිසාය. දැන් එම සදාචාරාත්මක අඩුවට අමතරව, රටේ නීතිය අමු අමුවෙ උල්ලංඝනය කරන ස්ථාන බවට පංසල්/පල්ලි පත්ව ඇත.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , , , , | Leave a comment

වැදීමේ අපේ උරුමය

සංස්කාරක සටහන:- මෙය 2013 වර්ෂයේදී රිටිගල ජයසේන විසින් සිය පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියූ ලිපියකි. මෙම ලිපිය මුල්වරට ෆේස්බුක් අඩවියේ “දණ්ඩ නමස්කාරයේ අපේ උරුමය” යන මාතෘකාව යටතේ 2013 අප්‍රේල් 19 දින පලවිණි. ලිපියට රිටිගල ජයසේනගේ ෆෙස්බුක් පිටුවේ වැටුනු අදහස් වලට ඔහු දැමූ ප්‍රතිචාර අනුව රිටිගල මෙම ලිපිය සංස්කරණය කර තිබෙන බව පෙනෙන්න තියනවා. මේ පළකරන්නේ එසේ සංස්කරණය කර වැඩිදියුණු කෙරූ අනුවාදයයි.

************************************************************************

සිංහල-බෞද්ධ පවුල් වල ඉතා තදින් මුල්බැසගෙන ඇති හා අපේ පාරම්පරික ගුනධර්මයක් ලෙස ජනමාධ්‍ය හා පාසැල් වලදී උත්කර්ෂයට නැංවෙන “වැඩිහිටියන්ට වැදීම” යන චාරිත්‍රය අරභයා ඇතිවූ වත්පොත් සංවාදයකදී මා මෙසේ පවසා සිටියා.

//කැමති ඔනෑම් කෙනෙක් තමන් කැමති ඔනෑම කෙනකුට වැන්දාට කමක් නැත. මෙය තරමක් පසුගාමි ගෝත්‍රික චාරිත්‍රයක් (නූතන ලෝකය විසින් අතහැර දැමූ) නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒ වගේම මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු නොවෙනවා පමනක් නොව කාටවත් වඳින්නේද නැත. මගේ දරුවන්ද අවුරුදු 18 පසුවී ඔවුන්ම තීරණය කොට කාට හෝ වැන්දොත් මිස මාගෙ බාරයෙ සිටින තාක් කල් කිසිවකුට වැඳීමට මම ඉඩදෙන්නේද නැත. කිසිවෙකු මාගෙ දරුවන්ගෙන් බලෙන් වැඳුම් ලබා ගැනීම්ට උත්සාහ කලහොත් හෝ කිසිවකුට වැඳීමට බලපෑම් කලහොත්, ලමා අපචාරය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගනිමි.//

ඒ වත්පොතේ මනඃකල්පිත චරිතයක් වන “රිටිගල ජයසේන” ක්‍රියා කරන ආකාරයි. මාගෙ සැබැ ජීවිතයේ ඇත්ත කතාව මෙතරම් සරල නැහැ.

“වැඩිහිටියන්ට වැඳීම” කියල අපි අද තරමක් නූතන ලෝකයට තරමක් හෝ පෑහෙන විදිහට වෙනස් කරගෙන තියෙන , සිංහල බෞද්ධ චාරිත්‍රයක් විධිහට ඉහලින්ම තියාගෙන ඉන්න, ඒ වගේම අපේ දරුවන්ට බලෙන්ම වාගෙ පුරුදු කරන මේ සිරිතේ මූලයන් හා ඒ සිරිත මීට අවුරුදු සිය ගානකට කලින් ක්‍රියාත්මක වුන විදිහ විමසා බැලුවොත් මේ සිරිතේ සැබෑ අරුත තේරුම් ගන්න පුලුවන්.


පලමු කාරනය තමයි “වැදීම” කියන සිරිත කොහොමවත් “සිංහල-බෞද්ධ” සංස්කෘතියට පමනක් සීමා වෙන්නෙ නෑ. බොහෝ නූතන සංස්කෘතීන් විසින් වර්තමානයේ අතැහැර දමා තිබුනත්. ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුල කිසියම් ආකාරයක “වැදීමේ” සිරිතක් අතීතයේ තිබිල තියෙනවා. වර්තමාන “සිංහල-බෞද්ධ” සංස්කෘතිය මේ සිරිත තවමත් පවත්වාගෙන යන සංස්කෘතීන් සුලු ගනනෙන් එකක්.


පොඩි වෙනසකට තියෙන්න අද අපි මේ සිරිතේ අතීත අරුත පොඩ්ඩක් වෙනස් කරගෙන “වැඩිහිටියන්ට වැඳීම” හා “පූජ්‍ය පක්ෂයට” වැඳීම යන ආකාරයකට නිර්වචනය කරගන්න උත්සාහ කරනවා. නමුත් මෙහි සැබෑ ගෝත්‍රික අරුත නම් “බලය ඇති ගෝත්‍රිකයාට යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීම”යි.


දැනටත් අපි මේ සිරිත වැඩිහිටියන්ට වැඳීම යනුවෙන් ප්‍රකාශ කලාට “වැඩිහිටි බව” පමනක් වැඳුම් ලැබීමට ප්‍රමාණවත් කරුනක් නොවේ. “බලය ඇති” හා තමන්ට “කුලයෙන්” උසස් වීම දැනට උනත් අවශ්‍ය කරුනක්. “කුලය” යනුවෙන් මෙතැන අදහස් කලේ සමාජ තත්වයයි. එහිදී වයස නොව හුදෙක්ම “බලය” වැඳුම් ලැබීමෙ සාධකය උනා. ගෝත්‍රික නායකය හෙවත් රජු පූජ්‍ය පක්ෂයෙන් හැර අනෙක් හැමෝගෙන්ම වැඳුම් ලැබුවා. ඇතැම් විට රජුගේ වැඩිමහල් ඥාතීන් පව රජුට වැන්දා. එමෙනම ඇමතියන්, නින්දගම් හිමියන් ඔවුන්ගේ නින්දගම් වාසි කුල හීනයන්ගෙන් අනිවාර්යයෙන්ම වැඳුම් ලැබුවා. සැමියා බිරිඳගෙන් වැඳුම්  ලැබුවා. අදටත් ලංකාවේ ඇතැම් පලාත් ව්ල ඇතැම් විවාහෝත්සව වලදී මනමාලිය ලවා මනමාලයාට වැන්ඳවීම ක්‍රියාත්මක වෙනවා.


අපි මේ සිරිත් ක්‍රමයෙන් අතහැර ගනිමින් ඉන්නවා. නමුත් මේ අත් හැරීම එක්වරම කිරීමට සමාජය ඉඩ නොදෙන නිසා අපි දැන් “දෙමාපියන්ට පමනක් වඳිමු”, “ගුරුවරුන්ට පමනක් වඳිමු” වගේ නිර්වචන වලට අමාරුවෙන් එලඹෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මොනතරම් මූලධර්මවාදී සිංහල බෞද්ධයෙක් උනත් බිරිඳ සැමියාට ප්‍රසිද්ධියේ දනගසා වැඳිය යුතුය වැනි මතයක අද සිටී යයි හිතන්නට අමාරුයි. නමුත් කෙතරම් නූතනත්වයට අනුගතවූ සිංහල බෞද්ධයෙක් උනත් “දරුවන් දෙමාපියට හා ගුරුවරුන්ට ප්‍රසිද්ධ සභාවක දනගසා වැඳිය යුතුයි” යන මතය සමග ලොකු අවුලක් නෑ. මෙහිදි තේරුන් ගතයුතු කරුන නම් නූතනත්වය විසින් අතහරින්නට යෝජනාකරන ගෝත්‍රික සිරිතක් එක්වරම අත් හැරගත නොහැකි වීමේ සංකුලතාවයකින් අපි පෙලෙන බවයි.

හැබැයි හැම අවස්ථාවකම බලය ඇති කෙනෙක් බලය නැති කෙනෙක්ගෙන් වැඳුම් ලබනවා කියන්න බෑ. බලය ඇති තරුණ කෙනෙක් තමන්ගෙ වසයක අබල දුබල විශ්‍රාමික ගුරුවරුන්ට හෝ වයසක දුප්පත් වැඩිහිටි නෑයෙක්ට වැඳීමේදී ක්‍රියාත්මක වෙන්නෙ බලය පිලිබඳ සමීකරණයක් නෙමෙයි. එතැනදී ගෞරවය දැක්වීම තමයි සංකේතවත් වෙන්නෙ. නමුත් මේ අවස්ථාවල උනත් බොහෝවිට සිය හදපිරි ගෞරවය පිරිනමනවා වෙනුවට බොහෝ අය මේක කරන්න ප්‍රදර්ශනාත්මකව (සෙස්සන්ට පෙනෙන්න). හතරගාතෙ දමා වඳින කෙනෙක් කියන්නෙ “නිරහංකාර යහපත් කෙනෙක්” කියන මතය ලොකුවට සමාජගත වෙලා තියෙන නිසා ගොඩ දෙනෙක් මේ ක්‍රමයට ඉතා පහසුවෙන් ලකුනු රැස් කරනවා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගෙ හදවතේ ඒ ගෞරවය ඇත්තටම නෑ.

මේ වැඳීම කියන එක අපේ සංස්කෘතියේ ලොකු සංකේතයක් ලෙස හිතන අය මේක තුලින් යම් බලහත්කාර කමක් කරනවා. කුඩාවුන්ට මේක හුරු කරන්නෙ බලෙන්. හතරගාතය දමා පොලවේ වැටී වැඳීම කියන්නෙ ටිකක් අපහසු හා අස්වාභාවික ඉරියව්වක්. අනික එහෙම බිම වැටී වඳින්න තරම් හැම තැනම බිම පිරිසුදුත් නෑ. මේක මට නම් බොහොම අපහසු ඉරියව්වක්. මීට වඩා ප්‍රායෝගික ආචාර ක්‍රමයක් තියෙනවා නම් මම කැමතියි. ජපනාගෙ කොන්ද නමා ආචාර කිරීම තරමක් අපහසු උනාට මෙච්චර අස්වාභාවික නෑ. නමුත් මේක වඩා ප්‍රායෝගික විදිහකට වෙනස් කරගන්න බැරි මේක අපේ අත් හරින්න බැරි උරුමයක් කියල හිතන මූලධර්මවාදීන් නිසා.

මාගේ දරුවන්ට මම පෞද්ගලිකව දන්ඩ නමස්කාර සිරිත හුරු නොකලත්, පාසැලෙන් හුරු කිරීම හා නෑදෑ හිත-මිතුරන්ගේ සම වයස් කාන්ඩ වල දරුවන්ගේ ඇසුර නිසා ඔවුන්ද ඇතැම් අවස්ථාවල මේ සිරිත නොකලොත් අපහසුතා වලට පත්වීම් වලට ලක්වෙනවා. මාගේ අදහස් තේරුම් ගත හැකි යයි සිතන මිතුරන්ට මේ ගැන පවසා ඇති නිසා, ඔවුන්ගේ පවුල් තුල මේ සිරිත තදින්ම තිබුනත් මා සිරිත නොකරන බව දන්නා බැවින් ඒ අවස්ථා වලින් මා සහ මගේ දරුවන් “මුදා හැරීමට” තරම් ඔවුන් කාරුනිකයි. නමුත් “සිංහල බෞද්ධ” අධිපතිවාදී මත දරන හා “වැඩිහිටියන් නැමඳීම” යනු අපේ සංස්කෘතියේ ලොකුම සංකේතය යැයි මූලධර්මවාදීව කල්පනාකරන ඇතැම් නෑදෑයන් හා මිතුරන් නිසා මම ඇතැම් අවස්ථාවල අපහසුතා වලට ලක්වෙනවා. ඔවුන්ගේ හොඳ හිත පලුදු කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මුවින් නොබැන මගේ දරුවන් මේ දන්ඩ නමස්කාර සිරිත කරනු බලා හිඳීමට මට සිදු වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි මගේ ඇතැම් මූලධර්මවාදී මිතුරන් නිසා මේ “වැඩිහිටියන්ට නැමදීම” යනුවෙන් පවසා අපව රවටාගන්න “බලය ඇති තැනට වැඳීමෙ” සිරිතේ සැබෑ ස්වභාව්ය එලියට එන අවස්ථා ඇති වෙලා තිබෙනවා. මේ එවැනි අවස්ථාවක්:


දිනෙක් මම, මගේ බිරිඳ, දරු දෙදෙනා, මගේ රියැදුරු ලෙස ඇතැම් විටෙක සේවය කරන වයස හැත්තෑවක් පමන අසල්වාසියෙක්, මාගෙ ගෙදර වැඩපල වලට උදව් දෙන අවුරුදු පනහක පමන වයස ගැහැණු කෙනෙක්, මාගෙ බිරිඳගෙ මාමා කෙනෙක් යන අය වෙනත් ගමනක් යන අතර කෙටි උවමනාවක් සඳහා මාගේ “මූලධර්මවාදී” මිතුරෙකු ගේ නිවසට ගොඩ වැදුනා. වැඩිහිටියන්ට නැමඳීම යනුවෙන් සිරිතක් පුරුදු නොකරද, සියලු පුද්ගලයන්ට තරාතිරම නොබලා, ගුන යහපත් කම පමනක් බලා, අවශ්‍ය ගෞරවය ලබාදීම හා සමානත්මතාවය යන සිරිත් මාගෙ දරුවන්ට හුරුකර ඇති බැවින් මාගේ රියැදුරු හා ගෙදර අත් උදව් දෙන කාන්තාව යන දෙදෙනාට ඔවුන් අමතන්න්නේ “චන්ද්‍රපාල සීයා” හා “සමන්තා ඇන්ටි” (ඇත්ත නම තරමක් වෙනස් කලෙමි) වශයෙනි. එමෙන්ම ඔවුන් මේ දෙදෙනා සම්බන්ධ ක්‍රියා කරනුයේ ගෙදර අනෙකුත් වැඩිහිටියන් සම්බන්දයෙන් ක්‍රියාකරන ආකාරයටමැයි.


මෙවැනි හමුවීමකදි ගෙදරින් පිටත් වෙන අවස්ථාවේදී මාගෙ මිතුරා සිය දරුවන් ලවා අමුත්තන්ගේ පාර්ශවයේ වැඩිහිටියන්ට වැන්දවීම සිදු කරනවා. මේ අවස්ථාවෙ අපි සියලු දෙනාම එකට අසුන්ගෙන සිටිය අතර, ඇතිවූ කෙටි කතා බහේදී ආ පුද්ගලයන් කවුරුද යන වග මගේ මිතුරා දැන කියාගත්තා. වැඳීමෙ “නාඩගම” පටන් ගත් මොහොතේ මා සහ මගේ බිරිඳගෙන් පටන් ගත් ඔහුගේ දරුවන් ඊලඟට “චන්ද්‍රපාල සීයා” ලඟට යොමු උනා. මෙහිදී මැදිහත්වූ මගේ මිතුරා “නෑ නෑ එයාට වඳින්න ඔනේ නෑ, මෙයාට (කාන්තාව) වඳින්න ඔනේත් නෑ. මේ මාමාට (මගේ බිරිඳගෙ මාමා) වඳින්න කො” යනුවෙන් වැඳිය යුතු ස්ථාන හා නොවැඳිය යුතු ස්ථාන පැහැදිලි කර දුන්නා.


ආපසු ගෙදර යන අතර වාහනයේදි මාගෙ එවකට හය හැවිරිදි දියනිය මෙසේ ඇසුවා. “ඇයි තාත්ති ඒ ගොල්ල චන්ද්‍රපාල සීයටයි, සමන්තා ඇන්ටිටයි වැන්දේ නැත්තේ”. චන්ද්‍රපාල හා සමන්තා ඉදිරියේදී මෙයට නිසි පිලිතුරක් දීමට මම අපොහොසත් උනා. කෙසේ උනත් මාගෙ මිතුරා ඔහුගේ දරුවන්ට උගන්වන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම හෝ සානුකම්පිත, සමානාත්මවාදී වීම නොවන බව පැහැදිලියි. සමහරවිට “සමානාත්මතාවය” යනු “සිංහල බෞද්ධ” සංකල්පයක් නොවේ වන්නට පුලුවන්. 

************************************************************************

Categories: රිටිගල ජයසේන | Tags: , , , , | Leave a comment

දන් ඉලක්ක හා පිං ඉලක්ක බවට පත්වෙන අසරණ දරුවන්

සංස්කාරක සටහන: – මෙම කෙටි සටහන රිටිගල ජයසේන විසින් 2012 වසරේ අප්‍රේල් 10 වන දින සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කරන ලද්දකි. පසුව මෙම ලිපියේ සංස්කරණයක් 2013 වසරේ එවකට සක්‍රීය තිබුණු srilankanatheists.wordpress.com බ්ලොග් අඩවියේද පළවිණි.

************************************************************************

අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” කියන ක්‍රියාව සිදුකිරීම හොඳයි. හැබැයි වඩා හොඳ දේ තමයි “අන්‍යොන්‍ය උපකාරය” කියන සංකල්පය. ඔය “පිනට දීම” කියන මානසිකත්වයේ ඉන්න උදවිය එහෙම කරන්නෙ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්දිය අරමුණු කරගෙන නොවේ; තමන්ට පින් හෙවත් “පරලොවට ලකුනු” රැස් කිරීම කියන ආත්මාර්ථකාමී අරමුනක් වෙනුවෙන්. මේ වැරදි අරමුන නිසා එතරම් ඵලදායි නොවන කාර්යයන් සඳහා තමයි කාලය/ශ්‍රමය/ධනය වැයකරන්නේ. මේ “පින් කැමති” කට්ටිය බොහොම කැමතියි සමාජයේ “පින් ටාගට්” තියෙන එකට. ඒ නිසා මේ අය හිගන්නන්ට, අනාථ ලමයින්ට හරි කැමතියි. මිනිස්සු හිඟන තත්වයට වැටීම හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතු සාධක වන කරුනු නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීමට වඩා මේ අය කැමතියි ඒ තත්වෙට පත්වෙලා ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියල “පින් තකා” දන් දෙන්න.

මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන ලමා නිවාසයක් තියෙනව බෞද්ධ සංගමකින් පවත්වාගෙන යන. ඉස්සර මෙකේ හරිම හිරිකිත වැඩක් උනා. (දැන් නම් ඒ වැඩෙ නවත්වල තියෙන්නේ) මේ ලමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදෙන්න පුලුවන්. මේ ආහාර වේල දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමින්. අඩුගානෙ ඉස්සරහට වත් මිනිස්සු “උදේ කෑම”, “දවල් කෑම” මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි කියල හිතනවා. කිසියම් හේතුවක් නිසා අසරන වෙච්ච ලමා පිරිසක් අපේ “පින් ටාගට්” බවට පත්කරගෙන “පින් ෆැන්ටසි” ඉටු කරගන්න පාවිච්චි කරන එක වැරදියි.

මේ කෑම වේල් අරගෙන එන උදවිය කරන තව නරක වැඩක් තමයි ලමයි මේවා කනකොට අර සත්තුන්ට කන්න දැම්ම වගේ පවුල් පිටින් වටවෙලා ලමයි කන හැටි බලාගෙන ඉඳිම. මෙකේ ඇති අමිහිරි ගතිය පොඩ්ඩක් අඩු කරන්න මගේ පවුලේ අයගේ උපක්‍රමය තමයි ගෙනාපු කෑම තමනුත් බෙදාගෙන ලමයි එක්ක ඉඳගෙන තමනුත් කෑම. ඒ උනාට බොහෝ දෙනා පුරුදුවෙලා ඉන්නෙ ඔහේ කන දිහා බලා ඉන්න එක.

අර දැන් නවත්වලා තියෙන නමුත් ඉස්සර මේකෙ උන කැත වැඩෙ තමයි, මේ “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිනවීමක්” මේ ලමුන් ලවා කරවීම. අර යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් යාදින්නක් සමග ගාථා කීපයක් කියවල. “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඔනේ” වගේ තේරුමක් දෙන යාදින්නක් තමයි කියවන්නෙ. සමාජයක් වශයෙන් අපි කලයුතු දේ නම් අපේම වරදවල් නිසා අසරන භාවයට පත්, දෙමාපිය ආදරය/රැකවරන නොලබන මේ දරුවන්ට පුලුවන් තරම සම වයසේ අනික් ලමයිට ලැබෙන ජීවිතයක්/ලමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැලකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කිරීම නොවේ. කොහොම උනත් මේ ලමා නිවාසයෙ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කරල තියෙන්නේ. ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමනක් කරල පාසැලට පිටත් වෙන එක තමයි දැන් ඒ දරුවන් කරන්නෙ. මේක හොඳ ප්‍රවනතාවයක්.

ලංකාවෙ මිනිස්සු ආගමික සංස්කෘතිය විසින් පුහුනු කරපු එක්තරා ක්‍රමයකට තමයි මේ දේවල් කරන්නෙ. ඒ නිසා තමයි ආධාර ලබන පාර්ශවය තමන්ගෙ අසරණ බව ප්‍රදර්ශනය කිරීම හා ‘පින් ලැබෙන වැඩක්’ කියල ආධාර දෙන පාර්ශවයට ඒත්තු ගැන්වෙන විදිහට මේව සකස් වෙලා තියෙන්නෙ. සමහරු කියන්න පුලුවන් මේ ආගමික රටාව නිසා තමයි මේ තරමටවත් මේ වගේ තැන් වලට ආධාර ලැබෙන්නෙ, ඕක නැත්තම් මොකෙක්වක් ඔය තැන් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ කියල. ඒ කතාව ඇත්තක් තියෙනවා; නමුත් මිනිස්සු පුරුදු වෙලා ඉන්න සමහර හිරිකිත දේවල් වෙනස් කරල, මේවාට මානුෂික මුහුනුවරක් දෙන්න ඒ ඒ ආගමික දේවල් මෙහෙයවන පාර්ශව වලට හා ආගමික පූජක/පූජ්‍ය පක්ෂයට පුලුවන්.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , , , | Leave a comment

A WordPress.com Website.