Posts Tagged With: රිටි ධර්මය

රිට්ටා හා බුදු දහම

සංස්කාරක සටහන – මෙය රිටිගල ජයසේන විසින් සිය ජීවිතයට බෞද්ධ ඉගැන්වීම් හරහා ලැබුනු ආභාෂයන් විග්‍රහ කර ෆෙස්බුකියේ තැබූ කුඩා සටහනකි.

බුදුදහමේ එන “අනාත්ම” යන අදහස මෙහිදී රිටිගල විසින් අගය කර ඇති බව පෙනේ. එසේ වුවද, රිටිගල ජයසේන, මම දන්නා තරමින්, භෞතිකවාදී නැඹුරුවක් ඇති අයෙකි. භෞතිකවාදී අයෙකුට බුදුදහමේ එන “අනාත්ම” සංකල්පය පිලිගත හැක්කේ කෙසේදැයි යමෙක් මගෙන් ප්‍රශ්න කරනු ඇත. ඒ කෙසේද යත් මෙසේය. භෞතිකවාදය අනුව මොලයට අමතරව “සිත” යැයි හෝ “මනස” යැයි හදුන්වන යම්කිසි “දෙයක්” නැත. කොටින්ම කිව්වොත්, භෞතිකවාදයට අනුව මෙය “කය මිස සිත නැති” ලෝකයකි. මෙවැනි කය මිස සිත නැති වාතාවරණයක් තුල හා කය – එනම් – මොලය ඇතුළු කොටගත් ශරීර කොටස් – වෙනස්වන පරිසරයක් තුල, කය ඇතුලත නොවෙනස්ව පවතින භෞතික නොවන “ආත්මයක්” ගැන බොහෝ ආගම් වල ඉගැන්වේ. රිටිගල විසින් මෙම අදහස ප්‍ර්‍රතික්ෂේප කරයි. ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ භෞතිකවාදී පදනමකිනි. භෞතිකවාදී පදනමකින් තොරව වෙනත් හේතු මත බුදුදහමින් ද “ආත්මය” යන අදහස ප්‍රතික්ෂේප කරයි. “මමෙක් නොමැතිවීම” බුදුදහමෙන් තමන් ලැබූ “ආභාෂයක්” ලෙස හදුන්වා දීමෙන් (මම සිතන හැටියට) රිටිගල බලාපොරොත්තු වන්නේ රිටිගලයානු දැක්මෙන්ද බුදුදහමෙන් ද “ආත්මයක්” ප්‍රතික්ෂේප කරන බව හුවා දැක්වීමයි. “ආත්මය ප්‍රතික්ෂේප කිරීම” මෙම ලෝකදැකමන් දෙකේම පොදු අංගයක් වුනද, එහි තිරය පිටුපස හේතු දැක්වීම් වෙනස්ය.

සංස්කාරක අටුවාව මෙලෙස අවසන් කරමි. මුල් ලිපිය ෆේස්බුකියේ පලව ඇත්තේ 2020 අප්‍රේල් 16 වන දිනය.

************************************************************************

පොඩි කාලෙ ඉඳන්ම රිචුවල් වැඩ නොදිරවීමේ අමාරුවකින් පෙලුනත්, නිරාගමික දේවාලයේ කපුවෙකු වන රිට්ටා කුඩා කල හැදී වැඩුනේ සිංහල බෞද්ධ පරිසරයක. බෞද්ධ චින්තනය නිසා මට ලැබුන නොලැබුන දේවල් මොනවාද කියල කෙනෙක් අහල තිබුන, බුදුන් දෙසූ දහම වැඩකටම නෑ කියල හිතනවද කියල තව කෙනෙක් අහල තිබුනා. මේකට ඉතාම කෙටි පිලිතුරක් වශයෙන් බෞද්ධ චින්තනය නිසා මට “ලැබුන” දේවල් විතරක් කෙටියෙන් කියන්නම්.

බෞද්ධ කතිකාවෙ එන තාක්ෂණික වචන මම එච්චර ප්‍රගුන කරල නැති නිසා සමහර දේවල් කියන්නෙ මගේ වචන වලින්. මේවාට කියන නිවැරදි තාක්ෂණික වචන මොනවද කියල හරියටම කියල මගේ වාක්‍ය නිවැරදි කරන්න පුලුවන් නම් හොඳයි. මොකද ඊලඟ වතාවකට මේවා ලියනකොට පාවිච්චි කරන්න පුලුවන්නේ. ඊලඟට මේ කියන්නෙ මගේ දැනුම හා අවබෝධයට සාපේක්ෂව. බුදු දහම ගැන කතා කරන්න ලයිසන් වෙනම අරගෙන ඉන්න පොල්මඃකාර උරුමක්කාර අය ගොඩක් ඉන්නවානෙ. ඒ අය මගේ අර්ථකතන වලට එකඟ වෙන එකක් නෑ. ඇත්තම කියනවා නම් “බුදු දහම” කියන තනිව අර්ථ දක්වන්න පුලුවන් වෙල් ඩිෆයින්ඩ් යමක් නෑ. ප්‍රධාන දාර්ශනික බෙදීම් කීපයක් තියෙනවා; සංස්කෘතීන් ගොඩක ඒ ඒ සංස්කෘතීන් වල කොහොමටත් තිබුන ඇදහිලි එක්ක බද්ධ වෙලා ස්ථාපිත වෙච්ච ආගමික සංස්ථා තියෙනවා; ඒ සංස්ථා ඇතුලෙත් තව කුඩා ගුරු කුල තියෙනවා.

බෞද්ධ ඉගැන්වීම් වල සිත ගැන කරන කතිකාව බොහොම ආකර්ශනීයයි. බාහිර සංඥා නිසා සිතිවිලි ඇතිවීම ඒවා නිසා සංකල්ප ඇතිවීම, සුඛමය සංකල්ප වලට ඇලීම, ඒ ඇලුනු දේ දිගටම අපේක්ෂා කිරීම වගේ ක්‍රමයකට අපේ සිත විස්තර කරල, ඔනෑම පුද්ගලයෙක් කියන්නෙ ඩ්‍රග් ඇඩික්ඩ් කෙනෙක් වගේ ඇබ්බැහියක් කියන පින්තූරය අපිට හදල දෙනවා. මේක සත්වයාගෙ පැවැත්ම පිලිබඳව ඩිප්‍රෙසිව් නමුත් ඇත්ත කතාවක්. (ජෛව පරිණාම වාදය හරහාත් ඔය වගේ පින්තූරයක් තමයි ඇඳෙන්නෙ). බුද්ධිමය ජීවීන් වශයෙන් හැබැයි අපිට පුලුවන් මේ අපිව ජීවන තරඟයේ හෙවත් රැට් රේස් එකේ එලවන මේ ‘සිතිවිලි’ දිහා පැත්තකට වෙලා බලල ඒ සිතිවිලි යම් තරමකට පාලනේ කරගන්න. අයිරොනිකලි, මේවා තියරිටිකලි දැනගත්ත කියල එච්චර ප්‍රයෝජනයක් නෑ. මොකද මේවා පිලිබඳ තියරි බුකියේ දේශනා කරන අයත් මේ තියරි වලින් නෙමෙයි දුවන්නෙ කියල පැහදිලියි. හැබැයි ඉතින් මේ විදිහේ ලෝක දැක්මක් තිබීම ජීවිතේට ප්‍රයෝජනයි.

බෞද්ධ දර්ශනයේ එන ආකර්ශනීයම සංකල්පය මට මීටර් උනෙ සෙල්ෆ් ප්‍රොක්ලේම්ට් නිරාගමිකයෙන් උනාට පස්සෙ. ඒක තමයි ‘සත්වයා’ (ජීවය) කියන්නෙ භෞතික ක්‍රියාවලියක් නිසා හටගන්නා කිසියම් ඉමර්ජන්ට් ෆිනොමෙනා එකක් මිසක්, එක් එක් සත්වයා හෝ පුද්ගලයා ඇසුරුකොට පවතින ‘ආත්මීය මදයක්’ නැහැ කියන කතාව. ඒ කියන්නෙ “මම” යනු හුදෙක් කිසියම් ක්‍රියාවලියක් මිසක් “මම” කියල සුවිෂේශී එසෙන්ස් එකක්, ආත්මීය මදයක් වගේ එකක් නෑ කියන එක. මේක වෙනත් කිසිම ආගමික ඉගැන්වීමක හමු නොවන යුනීක් කන්සෙප්ට් එකක්. ජීවය කියන්නෙ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්, ඒ කියන්නෙ “මම” යනුවෙන් මම හඳුනාගන්නෙ සිතිවිලි පරම්පරාවකට වැඩි දෙයක් නෙමෙයි කියන එක; “මම” මගේය කියන මැරීගෙන ආර්ක්ෂා කරගත යුතු අමුතු බක්කක් නෑ කියන එක. අපූරුම දේ තමයි නූතන විද්‍යාව මගින් තැනෙන ලෝක දැක්ම සමග මේක සීයට සීයක් සමපාත වීම. හැබැයි මේ නූතන විද්‍යාව සමග බුද්ධාගම ගැලපීමෙ ව්‍යායාමය කරල කට්ටිය ඇදගෙන නාන නිසා, මම ඔය කතාව කියන්නෙ ගොඩක් පරිස්සමින් ඩිස්ක්ලේමර් ලෝඩ් එකක් එක්ක. නූතන විද්‍යාවෙ ලෝක දැක්ම සමග බෞද්ධ දර්ශනයයේ දාර්ශනික මදය ගැලපීම ඔතනින් ඉවරයි. එතනින් එහාට ගියාම තියෙන අනෙක් සංකල්ප නූතන විද්‍යාව එක්ක තියා තමන්ගේම බෞද්ධ ලෝක දැක්ම එක්ක වත් සංගත නොවන වැල් බයිලා ලෙස තමයි මගේ සීමිත දැනුමින් වැටහෙන්නෙ. දැන් ඔවා වැල් බයිලා කියන්නෙ මගේ ලෝක දැක්ම තුලින් බලල. මම වැල් බයිලා ලෙස නම් කරන සියල්ලම සංගතව පේන පරිදි තමන්ගෙ ලෝක දැක්ම එහෙට මෙහෙට අඹරලා සකසාගත්ත අය ඇති. හැබැයි තමන්ගෙ ලෝක දැක්ම එහෙම අඹරන්න ලේසි නෑ කියල මම දන්නවා. අර මම ලඟකදී කෙටි විචාරයක් ලියපු 1984 කතාවෙ වගේ “ඩබල් තින්ක්” එකක් අවශ්‍ය වෙනවා බෞද්ධ ඉගැන්වීම ඔක්කොම තමන්ගේ මනස තුල සංගත කරගන්න.

හරි ලොකු දාර්ශනික කතා අමතක කරල බෞද්ධ චින්තනයේ ප්‍රයෝගික පැත්ත බලමු. මට මොනවද බෞද්ධ චින්තනයෙන් ලැබුන දේ

.– මාරාන්තික ලෙස සුරැකිය යුතු ‘මමෙක්’ කියා එසෙන්ස් එකක් නැතිවීම නිසා ජීවිතය ගැන බොහොම ලිහිල්ව සරලව බලල ජීවිතය “බුරුලට අල්ලාගන්න” හුරුවක් ලැබිල තියෙනවා. අයිරොනිකලි, විද්‍යාවෙ ලෝක දැක්මෙනුත් මෙතැනටම එන්න පුලුවන්.

— මිනිසා කියන්නෙ සත්ව ලෝකයෙ තව සතෙක් මිසක්, ලෝකයෙ අයිතිකාරයා නොවේ කියන සංකල්පය නිසා, සත්ව ලෝකය දෙස උපේක්ෂාවෙන් බලන්න හුරු වෙලා තියෙනවා. අයිරොනිකලි නූතන විද්‍යාව හරහාත් මෙතෙන්ටම එන්න පුලුවන්.

— මමය මගේය කියල තදින් අල්ලා ගැනීම් හා එසෙ තදින් අල්ලාගත් දේ ඇසුරින් තමන්ගේ අනන්‍යතාව හා සතුට ව්‍යුත්පන්න කරගැනීම නිසා තමයි දුක ඇති වෙන්නෙ කියන එක. අපිට හැම දෙයක්ම අතාරින්න බෑ. නමුත් අවශ්‍ය අවමය අල්ලා ගන්න පුලුවන්. අල්ලාගෙන තියෙන දේත් බුරුලට අල්ලාගන්න පුලුවන්. බේසිකලි සිංහලෙන් කියනවාන්ම “ට්‍රැවල් ලයිට් ඉන් දිස් ජර්නි ඔෆ් ලයිෆ්.”

— වෙනස්වීම කියයන්නෙ ලෝක ස්වභාවය. ඒ ස්වභාවය තමන්ට ඔනේ කරන තැන නතර කරල තියාගන්න බෑ. ඒ හින්ද වෙනස් වීම් සමග උනත් තමන්ගෙ සතුට පුලුවන් තරම් හොඳින් පවත්වාගැනීම සඳහා ඒ ස්වභාවය ගැන එලඹ සිටි සිහියෙන් දැනුවත්ව සිටීම. තමන්ට කොන්ට්‍රෝල් එකක් නැති වෙනස් වීම් උපේක්ෂාවෙන් බාර ගැනීම.

දැන් සමහරු (විශේෂයෙන්ම නිර්-ආගමික කඳවුරේ අය) කියන්න ඉඩ තියෙනවා ඔය සමහර දේවල් නිකන්ම කොමන් සෙන්ස් නේද. ඔවා තේරුම් ගන්න ලොකු ආගමික ඉගැන්වීම ඔනෑද කියල. හැබැයි ඔය ‘කොමන්ස් සෙන්ස්’ එක ලෝකයෙ එච්චර කොමන් නැති බව අපි පිලිගන්න ඔනේ. කොමස් සෙන්ස් උනත් සංවිධිත ඉගැන්වීමක් ලෙස ආවෙ නැත්තම් එච්චර කොමන් වෙන්නෙ නෑ.

ඔන්න ඔවා තමයි රිටිගලට බෞද්ධ චින්තනයෙන් ලැබුන දේවල්. දැන් ඕවා මට ලැබුන කියල මම නිවී සැනසුන සන්තෝෂමත් පුද්ගලයෙක්ද? අනේ නෑ මම එහෙම නිවී සැනසුන කෙනෙක් නෙමෙයි. පෞද්ගලික ජීවිතය මේවා ඇසුරෙන් හැඩගස්වා ගැනිම කොහොම වෙනත් මට බුකියේ මේවා ගැන පොරටෝක් ඉෂූ කිරීම සාර්ථකව කරන්න පුලුවන්.

Advertisement
Categories: රිටිගල ජයසේන | Tags: , , , , , | 3 Comments

‘සදාචාරය’ සාපෙක්ෂද නිරපේක්ෂද?

සංස්කාරක සටහන:- රිටිගල ජයසේන විසින් ඉතා මෑතකදී පලකෙරුණු මෙම ලිපිය තුල රිටිගල සිය සදාචාරය පිළිබද නියමය හෙවත් “එතිකල් තියරි එක” පැහැදිලි කරනු ලබයි. දාර්ශනිකයින් සදාචාරය ගැන කතාකරන විට සදාචාරයේ සාප‌ේක්ෂ නිරපේක්ෂ බව ගැන කතාකරයි. “සදාචාරය සාපේක්ෂයි” යනුවෙන් අදහස් වෙන්නේ හරි වැරැද්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවාය යන අදහසයි. හරි වැරැද්ද සම්බන්ධයෙන් සියලු දෙනාටම සියලු සංස්කෘති වලටම පිලිගත හැකි “පොදු නිර්නායක” තියනවාය යන අදහස උඩ ගොඩනැගුන සදාචාර තියරි “නිරපේක්ෂ සදාචාර තියරි” වශයෙන් හැදින්වේ.

මෙම සටහන තුල ස්ථානයක රිටිගල විසින් “සදාචාරය අනිවාර්යෙන්ම සාපේක්ෂයි” යනුවෙන් සදහන් කලද, රිටිගලගේ සදාචාර තියරිය නිරපේක්ෂ ආරක් ගනී. රිටිගල විසින් සදාචාරය “පවතින සමාජ ආකෘතිය හා එහි සමබරතාවය” හා බැදෙන බව පැවසීමෙන් මේ බව පැහැදිලි වේ. නිරපේක්ෂ සදාචාර තියරි වලින් හොද හා නරක වෙන් කර හදුනාගැනීමට යම් කිසි “රෙසපි එකක්” ලබා දෙනු ලැබේ. රිටිගල ද මෙම ලිපිය තුල හොද නරක වෙන්කරන්න “නිර්නායකයක්” හෙවත් “රෙසපි එකක්” ලබාදේ. සමස්ථ සමාජයේ සතුට හා එබැවින් “මගේ සතුට” මැක්සිමයිස් කරගැනීම පිණිස යම් ක්‍රියාවක් ඉවහල් වේ නම් එය “හොද” ක්‍රියාවක්ය යන්න ඒ රෙසපි එකයි. එබැවින් දැනට උද්ගත නොවුන “ක්ලෝනකරණය හරිද වැරදිද” වැනි සදාචාර ගැටලුද මේ රෙසපි යන ඇප්ලයි කිරීමෙන් විසදිය හැකි බව රිටිගලගේ මතය බව මට හැගේ. ඔහුගේ සදාචාර තියරිය “නිරපේක්ෂ ආරක්” ගනී යැයි මා සදහන් කලේ එබැවිනි.

සාපේක්ෂ සදාචාර තියරි වල රෙසපි වල ස්වභාවය මේ ආකාරය: “ආගමික පොතේ තියෙන්නෙ මොනවද බලන්න ඔ්නි”….”අපේ සංස්කෘතියට ගැලපෙනවද බලන්න ඔ්නි” යනාදී වශයෙනි. නමුත්, මේ ආකාරයේ රෙසපි හරහා “අලුත් සදාචාර ගැටලු” විසදිය නොහැක. උදාහරණ ලෙස, සංස්කෘති හා ආගම් හටගත් කාල වල හෝ ආගමික ග්‍රන්ථ ලියැවුණු කාල වල “ක්ලෝනකරණයේ තාක්ෂණය” දියුණුව නොතිබුණ බැවින් එහි හරි වැරැද්ද ගැන අදහසක් ආගම් තුල හෝ සංස්කෘති තුල නැත. එබැවින්, සදාචාරය සම්බන්ධ “සාපේක්ෂ රෙසපි” වලට වඩා මෙම ලිපිය තුල රිටිගල ඉදිරිපත් කරන “නිරපේක්ෂ රෙසපි” එක බලවත්ය.

යුක්ලිඩීය ඡ්‍යාමිතියේ යම් යම් axioms ඇත්තේ යම් සේද රිටිගලගේ සදාචාර තියරියේ එන “සතුට වැඩිකිරීම” යන කාරණය ඔහු ගන්නේ axiom එකක් වශයෙනි. එබැවින්, එහි සත්‍ය-අසත්‍යභාවය ගැන රිටිගල එතරම් වද නොවනු ඇතැයි යන්න මගේ හැගීමයි.

සංස්කාරක සටහන මෙතනින් අවසන්ය. පහතින් ඇත්තේ සදාචාරය ගැන රිටිගලයානු දැක්මයි. කිවයුතු තවත් දෙයක් නම් රිටිගල කපු මහතාගේ ධර්මයේ මා ඉදිරිපත් කල මෙකී exegesis එකට රිටිගල ජයසේන ඇතැම් විට එකග නොවනු ඇත. එලෙස එකග නොවන්නේ නම් ඔහු එය කමෙන්ට් හරහා පැහැදිලි කරනු ඇත. ඒ පැහැදිලි කිරීම් හා මෙම සංස්කාරක සටහන් අතර පරස්පර බවක් පෙනුනොත් ඒ ගැන නිරාගමික දේවලයේ රිටිගල ජයසේනගෙන් විමසීම මැනවි. මන්දයත්, සංස්කාරක වශයෙන් මා කලේ රිටි ධර්මයේ exegesis එකක් පමණක් බැවිනි.

************************************************************************

මේක බොහොම ජනප්‍රිය බෝරින් දාර්ශනික සංවාදයක්.

සදාචාරය හා ආචාර ධර්ම කිව්වහම මේ මොකක් ගැනද කතා කරන්නෙ කියල පොඩි ප්‍රශ්නයක් එනවා නම් සිංහලෙන් කිව්වොත් මේ කතා කරන්නෙ මෝරෑලිටි හා එතික්ස් ගැන.

‘සදාචාරය’ සාපෙක්ෂද නිරපේක්ෂද? ඔය සංවාදයට මම හේතූන් කිහිපයක් නිසාම කැමති නෑ. කැමති නැති පලමු හේතුව තමයි ඔය ප්‍රශ්නය ඔය විදිහට ඇහුවාම ඒක අනවශ්‍ය ලෙස ආයෙත් ප්‍රමූල ධර්ම වෙත නැවත ගොස්, මුල ඉඳලාම සංවාද කරන්න වෙන තැනකට අරන් යන්න ඇතැම් පාර්ශව වලට දොර හැර දීමක් වීම. මම මේ මාතෘකාව සම්බදව නොයෙකුත් දෙනා සමග නොයෙකුත් ආකාරයේ සංවාද බර ගානක් කරල තියෙනවා. නමුත් අවාසනාවකට වගේ කමෙන්ට් පරම්පරාගතව එන ඒ ධර්ම කොටස්, නෝට් ආරූඪ කිරීමට තාමත් මම අසමත් වෙලා තියෙන නිසා මේ ගැන ඇතිවන සංවාදයකදී ලින්කුවක් ලෙස තනි නෝට් එකක් ලබාදී ඒ සංවාදයෙන් අයින් වීමට හැකියාවක් තාමත් නෑ. මේ සංවාදයට මම අකමැති අනික් හේතුව ඔන්න ඕක.


සදාචාරය පිලිබඳ කතාව එන්නෙම “සමූහයක්” සම්බන්ධ කාරනා නිසා. සමුහයේ අනෙක් අය අරභයා තමුන් කෙසේ හැසිරිය යුතුද කියන ගැටලුවට දෙන පිලිතුරු වලට තමයි සදාචාරය කියන්නෙ. කීපදෙනෙක් එකට ජීවත් වීම වඩා පහසුයි කියලා තීරණය කළහම, ඒ සමූහය අතර සම්බන්ධතා හැඩගැහෙන විදිහක් තියෙනවා. තනියම ඉඳීම වෙනුවට සමූහයක් විදිහට ඉන්න නම්, ඒ අය අතර, ඒ අරමුණ වෙනුවෙන් ‘හොඳ දේවල්’ සහ ‘නරක දේවල්’ ගැන යම් එකඟතා මාලාවක් ඕනෑ වෙනවා. තනියම ජීවත්වීම, සමූහයක් එක්ක ඉන්න එකට වඩා අමාරැ වෙනකොට, මේ ‘මිණුම් දඬු’ වැඩි හරියක් කැමැත්තෙන් වගේම අකමැත්තෙන් වුණත් බාර ගන්න වෙනවා. එහෙම නැත්නම් සමූහයක් එක්ක ඉන්න බැහැ.


සමාජයේ පොදු සුබ සිද්ධිය සඳහා අපිට යුතුකම් හා වගකීම් තියෙනවා වගේ එකක් සදාචාර නිර්වචනයේ මුලට දාගත්තහම එන අවුල තමයි “අපි මොන එහෙකටද අනුන් ගැන හිතන්න ඔනෑ?” කියන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නය අහන්න සිද්දවෙන එක. ඔය ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයට ආගමික පුද්ගලයන්ට උත්තරයක් තියෙනවා. ඒ අය විස්වාස කරනවා ස්වභාවික යුක්තියක් පිලිබඳව. මේක දෙවියන් වහන්සෙ හෝ කර්මය වගේ නොයෙකුත් ආකෘතීන් වලින් ආවාට අන්තිම ඔවුන් විශ්වාශ කරන්නෙ තමුන් කරපු ‘වැරදි’ වලට පොලියත් එක්කම රිටර්න් එක හම්බුවෙන ස්වාභාවික යුක්ති ධර්මයක් පිලිබඳව. ඒ හින්දා පවතින සදාචාරය රැකීම ඔවුන් කරන්නෙ පෞද්ගලික විඳ වීමකට ඇති බිය නිසා. මේක තාර්කිකයිනෙ. එහෙම ස්වාභාවික යුක්තියක් තියෙනවානම් එහෙම ජීවත් වෙන්න ඔනෑනෙ. නමුත් එහෙම ස්වභාවික යුක්තියක් ගැන විශ්වාශයක් නැති නිරාගමික පුද්ගලයන් ගෙ සදාචාරයෙ පදනම මොකක්ද?


කෙටියෙන් කියන්න ගියාමත් මේකෙ නොයෙකුත් හිල් හිටිනවා. කමක් නෑ ඔන්න ඔහේ කියල දානවා. සදාචාරයේ ආකෘතිය පිලිබඳ රිටිගලගේ විග්‍රහය “ඉතාම කෙටියෙන්” (කෙටියෙන් කිව්වටම මේක එහෙම කෙටියෙන් ලියන්න බෑ) ගත්තොත් මෙහෙමයි:


නිරපේක්ෂ සදාචාරය කියන්නෙ “thou shall not kill” හෝ “පාණාතිපාතා වේරමණී” වගේ කිසිම සන්දර්භයකින් තොරව ඔහේ පුනරුච්චරනය කරන මන්ත්‍රයන් නම්. සදාචාරය කියන්නෙ එහෙම කන්ටෙස්ට් එකක් නැතුව රකින්න පුලුවන් වෘතයන් නෙමෙයි කියන එකට ඔනෑම කෙනෙක් එකඟවෙයි මම හිතන්නෙ. මොකද ඔය මන්ත්‍රය ජප කරන අයත් අන්තිමේදී මිනී මරනවා. ඒක ආත්මාරක්ෂාවට වෙන්න පුලුවන්, යුද්ධකදි වෙන්න පුලුවන්, නීත්‍යානුකූලා මරණ දන්ඩනය වගේ තැනකදි වෙන්න පුලුවන්. නමුත් කන්ටෙක්ස්ට් එක අනුව මිනීමැරීම කියන්නෙ ජස්ටිෆයි කරන්න පුලුවන් දෙයක් බවට පත්විය හැකි දෙයක්.

සදාචාරය අනිවාරයෙන්ම සාපේක්ෂයි. නමුත් වැදගත් කතාව ඒක සාපේක්ෂද නැද්ද යන්න නෙමෙයි. මොකකටද සාපේක්ෂ විය යුත්තේ කියල එකඟතාවයකට පැමිණීම.

සදාචාරය කියන්නෙ උපකරණයක්. ඒ කියන්නෙ ඊලඟට අහන්න ඔනේ ප්‍රශ්නෙ “මොකක් වෙනුවෙන් සදාචාරය කියල දෙයක් තිබිය යුත්තේ” කියන එක.

හරිම සිම්පල්! “සදාචාරය” පවතින සමාජ ආකෘතියේ පැවැත්ම, හා එහි සමබරතාවය අරමුණු කරගෙන පැවතිය යුත්තක්!

අපිට ඉතාම ප්‍රබලව එකඟවිය හැකි සදාචාරයන් ක්‍රමයෙන් ඒ සමාජය තුල නීතීන් බවට පත්වෙනවා. ඒ වගේම නීතීන් බවට පත් නොවූවත් ආචාර ධර්ම ලෙස පවතින් සදාචාර අංගයනුත් සමාජයක පැවත්මට අත්‍යාවශයි.


එබැවින් මගේ නිර්වචනය අනුව ‘සදාචාරය’ අප විසින් පවත්වාගැනීමට එකඟවූ පොදු සමාජයේ ආකෘතියට සාපෙක්ෂයි. විශ්වීය සදාචාර හරයන් තියෙන්න පුලුවන්, නමුත් එහෙම තියෙන්න නම් විශ්වීය සමාජ ආකෘතියකුත් තියෙන්නෙ ඔනේ. ලෝකය පුරාම සමාජ ආකෘතිය සම්මත ආකෘතියකට අභිසාරි වෙනකොට සදාචාර්ය හරයනුත් අභිසාරී වෙනවා හා එසේ විය යුතුයි. නැත්නම් වෙන්නෙ පවතින සමාජ ආකෘතියට ගැලපෙන්නෙ නැති හරයන් නිසා සමාජය වියවුලට පත්වීම.


පොදු සමාජයේ ආකෘතියෙන් බැහැරව තම තමන්ගෙ පෞද්ගලික හෝ කුඩා කන්ඩායම් ලෙස පවත්වාගන්නා හර පද්ධති වලට සාපේක්ෂ, පෞද්ගලික සදාචාරය නිර්ණායක ගැන නිරන්තර සංවාදයක් හෝ විවාදයක් ඇතිවීම හොඳ දෙයක්. මේ සංවාදයෙ අතුරු පල ලෙස පවතින පොදු සදාචාරය පද්ධතිය වඩා හොඳ තැනකට යන්න හෝ බිඳ වැටෙන්න පුලුවන්. පවතින ක්‍රමය අවුල් නම් එය බිඳවැටීම අවුලක් නෙමෙයි.


සදාචාරයේ සාපේක්ෂ බව ගැන මීට වඩා තව අමුතුවෙන් කියන්නට යමක් නෑ. එය හැමවිටම පවතින සමාජයේ ආකෘතියට සාපේක්ෂයි. නමුත් ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මෙතැනින් මතුවෙනවා. එනම් “පවතින සමාජයේ ආකෘතිය කෙබඳු විය යුතුද?” කියන එක.

සමාජයේ ආකෘතිය සකස් විය යුත්තේ ඒ තුල ජීවත්වන තනි තනි පුද්ගලයන්ගේ සතුට පවත්වාගැනීමටය කියන එක තමයි මගේ නිර්වචනය. වෙනත් වචන වලින් කිව්වොත් සමාජය පැවතිය යුත්තේ “මගේ සතුට වෙනුවෙන්”. මේක බොහෝම ආර්ත්මාර්ථකාමී නිර්වචනයක් වගේ පේනවද? නෑ “මගේ සතුට” තමයි අපිට ප්‍රමූල ධර්ම වලින් නිර්වචනය කරන්න පුලුවන් එකම දේ. ඇත්තටම කිව්වොත් මේකට නිර්වචන අනවශ්‍යයි.


මිනිසා කියන්නෙ කොටියා හෝ කිඹුලා වගේ තනිව තනිව පවතින්න පුලුවන් සතෙක් නෙමෙයිනෙ. මිනිසා කියන්නෙ වෘකයා වගේ සමාජමය සත්වයෙක්. කන්ඩායමකින් තොරව පැවත්මක් ඌට නෑ. ඒ නිසා “මගේ” සතුට සෙවීමේ ව්‍යායාමය ‘ගේම්-තියරි’ (game theory) එක අනුව ‘අපේ සමස්ත සතුටේ එකතුව’ සෙවීමේ ව්‍යායාමය බවට ඉබේම පත්වෙනවා. දැන් සමාජයේ ඉන්නෙ කවුරුත් විශේෂ නෑනෙ. එතකොට හැමෝම ‘මගේ සතුට’ හොයන කොට ඒක ඉබේම ‘අපේ සතුට’ කිය පොදු නිර්වචනය කරා යොමුවෙනවා.. එතකොට ඉබේම ‘මගේ සතුටට’ සීමාවන් පැනවෙනවා. නමුත් වැදගත් දේ තමයි එම සීමාවන් පැනවෙන්නෙ ප්‍රායෝගික හේතූන් නිසා වීම. ප්‍රායෝගික නොවන හේතුවන් නිසා “මගේ සතුටට” අනවශ්‍ය සීමා දාගන්න ඔනේ නෑ.


අවසාන සමාලෝචනය මෙහෙමයි.

*මගේ සතුට වෙනුවෙන් සමාජය පැවතිය යුතුය.

*ගේම් තියරිය අනුව මගේ පෞද්ගලික සතුට උපරිම කරගත හැකි සමාජ ආකෘතිය සොයාගත යුතුය. (බොහෝවිට මේ ආකෘතිය ගතික ආකෘතියක්. ස්ථිතික විසඳුමක් හෝ යුටෝපියානු අවසන් සැකැස්මක් නෑ.)

* අන්න ඒ සමාජයේ පැවැත්ම තහවුරු කිරීමට සදාචාරය පැවතිය යුතුය.


අවසාන සමාලෝචනය කලාට පස්සෙ ආයෙ අවසන් සමාලෝචනය ගැන සමාලෝචනය මෙහෙමයි..


“මගේ සතුට උපරිම කිරීමට සමත් සමාජ ආකෘතිය සොයාගත යුතුය, මගේ සතුට වෙනුවෙන් ඒ සමාජය පැවතිය යුතුය” කියන එක තමයි හැමෝම සිතිය යුතු. හැමෝම එහෙම හිතනව නම් හා මැටි වැඩ නොකර ඇත්තටම තමන්ගෙ සතුට දීර්ඝ කාලීනව පවත්වාගන්න පුලුවන් සමාජ ආකෘතිය ගේම්-තියරිය භාවිතයෙන් හොයාගන්නවා කියන අරමුණ තමයි හැමෝටම තිබිය යුත්තේ. උදාහරණයක් ලෙස යාලුවො දෙන්නෙක් කැලේක අතර මං වෙලා අමාරුවෙන් පාර හොයාගෙන දවස් ගානක් තිස්සෙ හාමතෙ කැලේ මැද්දෙන් එනවා කියමු. මින් එක්කෙනෙක්ගෙ බැක් පැක් එකේ ලොකු චොකලට් එකක් තියෙනවා හා අනෙක් පුද්ගලයා ඒක තියෙන බව දන්නවා කියමු. චොකලට් එක තියෙන කෙනා මම නම් “මගේ සතුට උපරිම වන” විදිහ මේ චොකලට් එක හොරෙන්ම තනියෙන් කෑමද නැත්නම් අනෙකා සමග බෙදාගෙන කෑමද? ඔන්න ඔය වගේ අවස්ථාවල අපි rules of thumb විදිහට පාවිච්චි කරන ඇතැම් සදාචාර මූලධර්මයන් ‘පොදු යහපත’, වගේ දේවල් වෙනුවෙන් පවතිනවා වගේ පෙනුනාට ඇත්තටම ඒවා අන්තිමට පෞද්ගලික යහපත වෙනුවෙන් එකඟවූ දේවල් නේද? මේ ආත්මාර්ථකාමයේ බයි-ප්‍රඩක්ට් එකක් විදිහට තමයි ඔය කලින් කිව්ව යුතුකම් වගකීම් සහිත පරාර්ථකාමය මතුවෙන්නෙ. මිනිසාගෙ ආත්මාර්ථකාමය පවතින්නෙ තියෙන්නෙ කුඩා ඉඩක පොඩි වෙලාවක විතරයි. දිගුකාලීන පැවත්ම ගැන හිතුවහම කරන්න පුලුවන් ආත්මාර්ථකාමීම වැඩේ තමයි පරාර්ථකාමී වෙන එක.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , , | Leave a comment

A WordPress.com Website.