Posts Tagged With: ජෝතිෂ්‍ය

“උපත” යනු කුමක්ද?

සංස්කාරක සටහන:- ” ‘උපත’ යනු කුමක්ද? ” යනුවෙන් හදුන්වා තිබුණද මෙය රිටිගල ජයසේනයන් විසින් ජෝතිෂ්‍ය පිළිබදව ලියන ලද ලිපියකි. මෙය ලියැවී ඇත්තේ 2015 වර්ෂයේය.

************************************************************************

“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව් කල්පනා කල අවස්තාවද, කලලයේ ස්නායු පද්ධතිය වැඩ කරන්නට පටන් ගැනීමද, කලලයේ හෘද ස්පන්දනය පටන් ගැනීමද, පලමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්තාවද, මව් කුසින් ඔලුව එලියට ආ අවස්ථාවද, මව් කුසින් කකුල එලියට ආ අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්තාවද, දරුවා අඬන්නට පටන්ගත් අවස්තාවද, නො එසේ නම ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්තාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක් බුකිය තුල පැන නැගුන බැවින් මේ සටහන තබමි.

ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට උපන් වේලාව හොයාගැනීම ගැනනම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. උපන් වේලාව නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකයුතු අවසන්ව අත පිහදාගත් නර්ස් නෝනා තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයට සැමියා විසින් තෑගි දුන් ලාබ අත් ඔරලෝසුවේ හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වෙලාවායි. දෛවෝපගත ලෙස මේ වෙලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට වෙලාවට එලියට ගත්තෙ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. හැම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීලාගෙ ලමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියනනේ එක එක දේය) වැඩ කොට ලැබෙන පල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවටදැයි තීරනය වන්නේද දෛවයට අනුවය.

කෝකටත් කියා ලමයින් උපන් වෙලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද මේ වෙන තුරු මොනම කාරනකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ලමයින්ට දෙන නම්ද ගර්භනි වෙන්නත් පෙරම තීරනය කල මා සහ මගේ බිරිඳ වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ ද දෛවය අනුවය. බැරි වෙලා හරි අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජ්‍යෝතිෂකරුවා කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරනය කලොත් එසේ වන්නේද දෛවය අනුවය.

කොටින්ම කියනවා නම් මේ දොරමඩලාව බලා මින්පසු උපන් වේලාව යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වෙලාවම යැයි තීරනකොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කලහොත් ඒක වෙන්නේද මුලු ලංකාවෙම දෛවය අනුවය (රටකටත් කේන්දරයක් තියනවලු හොඳේ?).

මොකා මොනවා කිව්වත්, තව අවුරුදු මිලියනකින් පසු බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරත් උපන් වේලාව අනුව කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇත්තේ. කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ වීමයි. (Io, Europa, Ganymede and Callisto)

මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුනු තත්වයකට එලැඹෙන මිනිස් ශිස්ථාචාරය ජ්‍යොතිෂය වැනි මිත්‍යා අත් හැර දමනු ඇතැයි පවසන, නූතන විද්‍යාවෙන් ඔලුව කුරුවල් කර ගත් ඇත්තතන්ට පහත කරුනු ටික මතක් කර දෙන්නට කැමතියි.

මීට අවුරුදු දහස් ගනකට පෙරද මිනිස් ශිස්ථාචාරයන් විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන් ගමන් ගන්නා සංකීර්න පථයන් හා එම කාල රටා සෑහෙන තරම් නිවැරදිව හඳුනා ගෙන තිබුනා. පොඩි පරහකට තිබුනේ ගණිතය දියුනු වුනත් දිනක් තුල කාලය හරියටම මැනීමෙ ක්‍රම දියුනු වී තිබුනේ නැහැ. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමනක් පමනි සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා, කිතුල් පිත්ත උඩ පියවර මැන්නා.” පිරුළ අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවෙ තමන්ගේ බිරිඳ ලමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙයින් එලියට ඇවිල්ල කිව්වහම, ලමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ ලංකාවෙ “හිරු තැටිය” හොඳේ? මෙ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍ර කරුවාට කිව්වහම මනුස්සය වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. බයි ද වේ, අර පිරුළ හැදිල තියෙන්නේ රා මදින්න කිතුල් ගහකට නැගල හිටපු පොරකගෙ බිරිඳට ලමය හම්බුවුනු ආරංචිය ලැබිල, ගහ උඩ ඉඳන්ම වෙලාව මනින්න ගිහිල්ල වෙච්ච අකරතැබ්බයක් සම්බන්දව.

දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, ඉලෙක්ට්‍රොනික ඔරලෝසු වලින් අන්තිම තප්පරේට වෙලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට ජ්‍යෝතිෂයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතිගෙ චන්ද්‍රයන් ජනාවාස කරන කාලෙ වෙන කොටත්.

ග්‍රහයන්ගේ සාපේක්ෂ චලිතය වගු ගත කරල ගණන් බැලීම සම්පූර්නයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීර්ණයි තමයි. මේ රටා එකක්වත් රේඛීය සමීකරන වලට ෆිට් වෙන්නෙ නෑ. හැබැයි සංකීර්න උනාට සම්පූර්ණයෙන් ගණිතමයයි. ඉස්සර කාලෙ නක්ෂත්‍ර කරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ).

දැන් මේ ග්‍රහ චලිතය කියන ගණිතමය වැඩෙ හා ඒ රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරනය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි උනේ කියල මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන් නේ අසුවල් දවසේ අසුවල් වේලාවට සූර්ය ග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විස්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙත් නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” කියල ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්න කමට මට හිතුනේ.

හැබැයි පොඩි කාලෙ මම දැනගෙන හිටියේ නැහැ, පරීක්ෂන, නිරීක්ෂන, හා නිගමන හරහා මිසක් වෙනත් ක්‍රම වලට දැනුම නිර්මාණය කරන්න පුලුවන් කියල. ජ්‍යෝතිෂ කට්ටිය පරීක්ෂන, සංගනන, දත්ත පරීක්ෂාවන් කරන්න නැහැ කියල අපි දන්නවනෙ. ඒ හින්ද මම හිතන් හිටිය ඕක අලි බොරුවක් කියල. ලොකු වෙලා නලින් ද සිල්වා ඇදුරු තුමා කියල දුන්නට පස්සෙ තමා දැනගත්තෙ, “උද්ගමනය” හරහා පමනක් දැනුම ගොඩ නැගීම බටහිර ක්‍රමයක්ය; අපේ ක්‍රමය අනුව ප්‍රත්‍යක්ෂ හෙවත් මනසේ ඉබේම පහලවන දැනුම් කියල දේකුත් ඕකට එකතු කරනවා කියල.

දැන් ඔය ප්‍රත්‍යක්ෂ කියන ඒව එන්නෙ මෙහෙමයි. අපේ “ගණිතයා” හැන්දෑවෙ රා කට්ටක් එහෙම ගහල හාන්සි පුටුවෙ වාඩි වෙලා කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවානේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අසුවල් ග්‍රහය අසුවල් තැන තියෙන නිසා තමයි ඒ” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්. සුරා සූදු දුම් පානයෙන් වැලකිලා හත් දවසක් පේ වෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක් ගෙන් අහල උනත් ප්‍රත්‍යක්ෂ දැනුම් ලබා ගන්න පුලුවන්. ඔන්න ඔහොමයි කතාව.

දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන “ගණිතයො” හොයා ගනීවි බ්‍රහස්පතිගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් (Ganymede) අටේ ඉඳීම නිසා විවාහය කල් යන්නෙ කොහොමද කියල.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , | Leave a comment

A WordPress.com Website.