ශබ්ද දූෂණය හා ආගමික ස්ථාන

සංස්කාරක සටහන: – මෙය රිටිගල ජයසේනගේ පැරණි ලිපියක් වන අතර මෙය ලියැවුණු කාල වකවානුව ගැන මට නිශ්චිත අදහසක් නැත. ඇතැම් විට, මේ මාතෘකාව සම්බන්ධව රිටිගලගේ අදහස් දැන් වෙනස්ව තිබෙනවා වන්නට ද පුලුවනිි. ලිපියේ මා ලබාගත්තේ “සෙකියුලර් ශ්‍රී ලංකා” ව්‍යාපාරයෙන් වන අතර එම වෙබ් අඩවිය තුල “Noise pollution by religious bodies” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලිපිය හදුන්වා තිබිණි. ඉහත සදහන් “ශබ්ද දූෂණය හා ආගමික ස්ථාන” යන තේමාව මගේ නිර්මාණයකි.

************************************************************************

මෙ දවස්වල කඨින පිංකම් නිසා ළඟ පාත පන්සල් තුනකින් ලවුඩ්ස්පීකර් බණ අසන්නට ලැබේ. ඉස්සර මේ ශබ්දයට මට මල පැන්නත්, දැන් උපෙක්ෂා සහගතව ඇහෙන බණ අසන්නට පුරුදුවී ඇත. ළඟ පාත කිව්වට මෙයින් පන්සල් දෙකක් ඇත්තේ කිලොමීටරයක් පමණදුරකිනි. නමුත් මෙවා කඳු උඩ පිහිටා ඇති නිසා ලවුඩ්ස්පීකර් ශබ්දය දුරට ඇසේ.

ලවුඩ්ස්පීකර් ශබ්දයට මල පනින කාලයේ, (මීට අවුරුදු කීපයකට උඩදී) ශබ්දය පිළිබඳ ගතහැකි හරි ක්‍රියා මාර්ගයක් තිබුණේ නැත. පොලීසියට පැමිණිලි කළවිට, පැමිලිල්ල විභාගකළ පොලිස් පරීක්ෂක තුමා මට උපහාසයෙන් කියාසිටියේ “මහත්මයාට බණ/පිරිත් අජීර්නයක් තිබුණාට පොලීසියට කල හැකි දෙයක් නැත” කියාය. ඔහු තවදුරටත් කියා සිටියේ “මෙය බෞද්ධ රටක් බැවින් පන්සල් වලට ආගමික වතාවත් රිසි පරිදි කිරීමට අයිතියක් ඇති” බවය. කරබා ගෙන සමහර දවස් වලදී රෑ එළි වෙන තුරු එකදිගට ඇසෙන ශබ්දය ඉවසා වදාරනු මිස වෙන කල හැකි දෙයක් ඒ කාලයෙ තිබුණේ නැත.

මීට අවුරුදු දෙක තුනකට උඩදී, පරිසර අමාත්‍යංශයෙන් ශබ්දවිකාශන යන්ත්‍ර සම්බන්ධව නව නීතිය ගෙන ආ මොහොතේ මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. දැන්වත් කනක් ඇහිල නිවී සැනසින්ලේ නිවාඩු දවසෙ ගෙදර හිටිය හැකි යයි සිතුවෙමි. නමුත් මෙම ප්‍රීතිය පැවතුනේ ඉතා කෙටිකලකි. ලංකාවේ නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක වන්නෙ ඒ ඒ පොලීසි වල නිලධාරි මහතුන්ගේ රුචි අරුචි කම් හා නීතියක් ක්‍රියාත්මක කිරීමට “ඉහළින්” කෙතරම් බලපෑමක් “පහළට” එල්ලවේ දැයි යන්න මත බව මම අවබෝධ කොට ගතිමි.

පංසල් ශබ්ද විකාශන යන්ත්‍රයට කොතරම් ඇබ්බහි වී ඇතිද යත්, ඔවුන්ගෙ ආගමික කටයුතු කිරීමට දැන් මෙම මෙවලම නැතුවම බැරිය. බටහිර සංස්කෘතියට අපේ තරුණ පරපුර ඇබ්බැහිවීම කොතරම් භයානකදැයි පුන පුනා පැවසීමට පවා අපේ හාමුදුරුවරුන්ට මෙම “බටහිර විද්‍යාවෙන්” තනා ඇති මෙවලම නැතුව බැරිය. එබැවින් ශබ්ද විකාශන නීතිය පනවා මාස ගණනක ඇවෑමෙන්, සියලු පංසල්/පල්ලි තම පරණ පුරුදු ශබ්ද රටාවටම ආපසු පැමිණ ඇත. මේවාට විරුද්ධ වීමට නම් නඩු මාර්ග වලට අවතීර්ණ වීමට සිදුවී ඇත. සාමාන්‍ය පැමිණිල්ලකින් පොලීසිය කිසිවක් නොකරයි. පැමිණිල්ල ලියාගන්නා රාළහාමිගේ ආගම අනුවද ගන්නා ක්‍රියාමාර්ග වෙනස් වේ. නිකන් ඇඟ රිද්දා ගැනීමට නොහැකි නිසා සහ “අනේ ඔයා මේ නැති ප්‍රශ්න හදා ගන්නෙ නැතුව ඉන්න” යන මගේ බිරිඳගේ අවවාදයට ගරු කිරීමක් ලෙස දැන් මම ඇහෙන බණක්/පිරිතක්/කවියක් අසාගෙන ගෙදරට වී සිටිමි. මා අවට ඇති පංසල් එකක්වත් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ගෙන නොමැති බවත්, ඒ වාගෙම රෑ 12.00 පසු එළිවෙන තෙක් “සර්වරාත්‍රික” ශබ්ද කිරීමට බලපත්‍ර දැන් නොදෙන බවත් හොඳින් ම දනිමි.

මීට අවුරුදු 5 කට උඩදී පංසල්/පල්ලි වලට තිබුණේ අසල්වාසීන්ගේ වෙනස් අවශ්‍යතා වලට ගරු කරමින්, අනුන්ට හිරිහැරයක් නොවනසේ තමන්ගෙ කටයුතු කිරීමේ නොහැකියාව පිළිබඳ සදාචාරාත්මක අඩුවක් පමණි. ඒ එම කාලයෙ මේ සම්බන්ධ හරි නීතියක් නොතිබුණ නිසාය. දැන් එම සදාචාරාත්මක අඩුවට අමතරව, රටේ නීතිය අමු අමුවෙ උල්ලංඝනය කරන ස්ථාන බවට පංසල්/පල්ලි පත්ව ඇත.

Advertisement
Categories: රිටිගල ජයසේන | Tags: , , , , , , , | Leave a comment

Post navigation

අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

A WordPress.com Website.

%d bloggers like this: