ආගම මගින් සදාචාරය විකෘති කිරීම

සංස්කාරක සටහන:- මෙය රිටිගල ජයසේන විසින් 2013 වසරේ රචිත ලියමනකි. සදාචාරය යන ගැඹුරුවූත් පුළුල්වූත් විෂය පථය “පින්” හෙවත් “පරලොවට ලකුණු” රැස්කිරීම වැනි නොගැඹුරු වපසරියකට ලඝුකිරීම මෙහි විවේචනයට ලක් වේ. ලිපිය අවසානයේ අමුණා ඇත්තේ රිටිගල ජයසේන විසින් මුල් ලිපියට සපයන ලද ඌණපූර්ණයකි.

************************************************************************

මිනිසා තුල ස්වාභාවිකවම සදාචාරය පිළිබදව කිසියම් “ඉවක්” ඇත. අසරණ වූ පුද්ගලයෙකුට හෝ සතෙකුට පිහිටවීමට අපි නිතැතින්ම පෙලඹෙන්නේ එබැවිනි. එමෙන්ම, කිසිම ආගමික ඉගැන්වීමකට අනුගත නොවුන ද, ශිෂ්ඨාචාරගත නූතන සමාජය “තම වගකීම නොවැරදිම ඉටුකිරීම”, “එකිනෙකාට උදව් කිරීම”, “රාජකාරිය පැහැර නොහැරීම”, “බලපවත්වන නීතියට පිටින් නොයාම” වැනි ගුණාංග සිය හර පද්ධතියට එකතු කරගෙන ඇත. නූතනත්වය තුළ ජීවත් වන මිනිසුන් ඉහත කී ගුණාංග සිය හරයන් තුලට දැඩිසේ ඇතුලුකරගෙන ඇත්නම් සදාචාරමත් සමාජයක් ඒ ගුණාංග හරහා පමණක් වුවත් පවත්වාගෙන යා හැකි ය.

කෙසේ වුවත් ආගම් හරහා කෙරෙන බියවැද්දිම් නොමැතිව හරි වැරද්ද තෝරා බේරා ගත නොහැකි පිරිසක් ද මේ සමාජයේ අපත් සමග ජීවත් වන බැවින්, ඔවුන් “හීලෑ” කරගැනීම සඳහා ආගමක සහාය නූතන ශිෂ්ඨාචාරයට ද අවශ්‍ය බවට යමෙකුට තර්ක කල හැක.

වර්තමානයේ ආයතනගත ආගම් විසින් තමන් මානව සදාචාරයේ හිමිකරුවන් බවට උදම් ඇනුවද, සැබෑ තත්ත්වය වනාහී, ආතර් සී ක්ලා(ර්)ක් ද පැවසූ පරිදි, මානව ඉතිහාසයේ ලොකුම ඛේදවාචකය වනුයේ ආයතනගත ආගම් විසින් සදාචාරය පැහැර ගැනීම ය (Greatest tragedy in human civilization is hijacking of morality by religion). මෙම කාරණය සම්බන්දයෙන් නොයෙකුත් මත පලවී ඇත. විවාද පැන නැගී ඇත. එහෙත් සැබෑ ජීවිතයෙන්ම උදාහරණයක් ලබාදීම මේ සියලු තර්ක විතර්ක වලට වඩා සුදුසු බව සිතමි.

මිනිසා තුළ ස්වභාවිකවම පැන නගින සදාචාරය සම්බන්ධ සංකල්ප අකා මකා දමා ආගම් තුළින් මතුවන සදාචාර විකෘතීන්ගෙන් ඒවා ප්‍රතිස්ථාපනය වීම මානව වර්ගයාගේ පැවැත්මට අහිතකර ලෙස බලපායි. ලෝකයේ ප්‍රධාන ආගම්, විශේෂයෙන්ම ඒබ්‍රහමික ආගම්, මෙවැනි විකෘතීන් අටෝ රාශියක් ආයතනගත කොට ඇත. ඒ පිලිබඳව කතා කිරීමට රිච්ඩ් ඩෝකින්ස්, සෑම් හැරිස්, ඩැනියෙල් ඩෙනාට්, ක්‍රිස්ටෝපර් හිචන්ස් වැනි උගතුන් විසින් පොත් සිය ගානක් ලියා ඇති බැවින් මා වැන්නෙකුට අලුතින් කීමට දෙයක් නැත. කෙසේ වුවත්, ඔවුන්ගේ විෂය පථයට අසු නො වූ, මෑතකදි (එනම් පසුගිය සියවස තුල) ඒබ්‍රහමීකරණයට ලක් වූ ආගමක් වන ලාංකික බුද්ධාගම මගින් ආයතනගත කරමින් පවත්නා විකෘතීන් නිසා ශ්‍රී ලාංකීය සමාජයට සිදුවෙමින් පවතින විනාශය දෑසින් දකින්නෙකු ලෙස යමක් පවසමි.

පහතින් දැක්වෙන දෙබස වනාහී මෙරට කිසියම් රජයේ රෝහලක කිසියම් වාට්ටුවක වෛද්‍යවරුන්ගේ කාමරයේ දී සිදු වූවකි. මෙය ප්‍රබන්ධයක් නොව සැබෑ සංවාදයක් බැවින් මේ සංවාදයේ සැබෑවටම යෙදුන පුද්ගලයන් මේ සටහන ඇස ගැසුනහොත් මා කව්දැයි හඳුනාගැනීම වැලක්වීම සඳහා පමණක් සංවාදයේ ඇතැම් කොටස් පමණක් තරමක් වෙනස් කළෙමි.

වෛද්‍යවරිය-1: නංගී අපි මේ වීක්-එන්ඩ් එකේ, <අහවල්> අසපුවට යනවා දානයක් දෙන්න. ඔයාටත් එන්න පුලුවන් පිනක් දහමක් කරගන්න.

වෛද්‍යවරිය-2: අපෝ බෑ අක්කා. අක්කලා යන්න මට මේ වීක්-එන්ඩ් එකෙ දාගත්ත වැඩ ගොඩක් තියනවා.

වෛද්‍යවරිය-1: ඔයා නම් පිනට දහමට හරිම කම්මැලියි නේද? ඔයාගෙ හොඳට කියන්නෙ නංගි. මැරෙන දවසක ගෙනියන්න පිනක් දහමක් කරගෙන තියෙන්න ඔනේ නේද? ඔයාට හැමදාම “වැඩ වැඩ”. ඔහොම සල්ලි පොදි ගහල විතරක් හරියන්නෙ නෑ.

වෛද්‍යවරිය-2: (සිනාසෙමින්) සල්ලි පොදි ගහන්න නෙමෙයි, මේ වීක්-එන්ඩ් එකේ මම පොරොන්දු උනා මගේ ගෙදර වැඩ කරන කෙනාගෙ පුතාගෙ ඇහේ ප්‍රශ්නෙ බලවලා දෙනවා කියලා. කන්සල්ටන්ට් සර්ගෙ චැනල් සෙන්ට(ර්) එකට ගෙනිහිල්ලා පෙන්නලා. ඒ ගොල්ලො තනියම ගියොත් සල්ලි ගන්නවනෙ. අනික ඒ ගොල්ලො බස් එකේ ගියොත් ගොඩක් වෙලා යනවා. ඇහැට දූවිලි වදින්නත් හොඳ නැහැ.

වෛද්‍යවරිය-1: ඒ උනාට ඉතින් ඔයා යන තැනකට අරගෙන යන්න පිනක් නම් කරගෙන්නෙ නෑ කවදාවත්. ඔයා දන්නවද, මම ගිය අවුරුද්දෙ ලක්ෂ තුනක් වියදම් කරල රුවන්වැලිසෑය වටේටම පලඳවන්න පුලුවන් බෞද්ධ කොඩියක් හදවලා පූජා කලා. මම කවද හරි මැරෙන මොහොතක මතක් කරගන්නෙ ඔය කොඩිය රුවන්වැලිසෑයට පලඳවලා තිබුන දර්ශනය. මම ආයෙ සුගතියක උපදින්න ඒ පින හොඳටම ප්‍රමානවත් කියල එදා ඇවීල්ල උන්නු <අහවල්> හාමුදුරුවොත් කිව්ව.

වෛද්‍යවරිය-2: මටනම් මැරෙන වෙලාවෙ මතක් කරගන්න මම කරපු හොඳ වැඩ ගොඩක් තියෙනවා. එකක් කියන්නද අක්කට දැනගන්න?

වෛද්‍යවරිය-1: කියන්නකො.

වෛද්‍යවරිය-2: අක්කට මතකද මාස ගානකට උඩ දි අක්කගෙ පොඩි පුතාගෙ උපන්දිනේට ගෙදර පිරිතක් තියෙනවා කියල අන්තිම මොහොතෙ නිවාඩු දාලා නයිට් ශිෆ්ට් එකක මාරු කරගත්ත. එදා නයිට් එකට ආවෙ මම. ඊට පස්සෙ උදේ ශිෆ්ට් එකටත් ඉඳලා මම ඕෆ් වෙලා යන්න අක්කා එනකන් බලාගෙන හිටියා ඊලඟ ශිෆ්ට් එකට එන්නෙ ඔයා නිසා. ඔයාගෙ පුතාගෙ උපන්දින පාටියක් කොහේ හරි හොටෙල් එකක තියෙන නිසා ඔයා එහෙ ගිහිල්ල නිසා එන්න පරක්කු වෙනවා කියල මට කෝල් එකක් දුන්නා. මම අඩුගානෙ උදේටත් කාල නෙමෙයි හිටියෙ. ඒත් මම ඔයා එනකන් වෝඩ් එක බැලුවා. ඔය අතරෙ ලෙඩෙක්ට අමාරු වෙලා රිසස්සිටේට් කරන්න උනා. පස්සෙ ලෙඩාව ට්‍රාන්ස්ෆර් කරන්න උනා කලම්බු ජෙනරල් එකට. මම හාමතේම ඇම්බියුලන්ස් එකේ කොලඹ ගියා ලෙඩා එක්ක යන්න වෙන කවුරුත් හිටියෙ නැති හින්ද. මම ආපහු එනකොට රෑ වෙලා. පහුවදා වැඩට ආවහම ඒ ලෙඩාගෙ නෑයො ඇවිල්ල හිටියා. පුදුම දුප්පත් අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට කොලඹ යන්න බස් එකට සල්ලිවත් අතේ නැහැ. මම රුපියල් දාහක් දුන්නා අවශ්‍ය කරන දේවල් අරගෙන කොලඹ ගිහිල්ල එන්න කියල. අක්ක වගේ මම ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නෙ නැති නිසා, ලාබ බෙහෙත් තියෙද්දි රෙප්ලාගේ ගනන් බෙහෙත් ලෙඩ්ඩුන්ට ලියන්නෙ නැති නිසා, ක්ලිනික් එන්නෙ නැතුව පීපී එකට යන්නෙ නැති නිසා ලක්ෂ ගණන් වියදම් කරන්න නම් සල්ලි අතේ නෑ. හැබැයි මැරෙන මොහොත ගැන හිතල බයවෙන්න තරම් හේතුවකුත් මට නැහැ.

ආගම් මගින් ඔලුවට දමන සදාචාර විකෘතීන් නොතිබුනා නම් වෛද්‍යවරිය-1 ගේ සමාජ ජීවිතය කෙසේ සකස් වේවිද? බෞද්ධ පල්ලියේ “විකිනීමට ඇති පින්” මිල දී ගෙන ඊලඟ ආත්මය ගොඩ දැමීමට මේ ආත්මයේ යුතුකම් පැහැර හරිමින් වෙහෙසෙන ඇය, ඊලඟ ආත්මයේ නොව ලැබූ ජීවිතයේ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන වෛද්‍යවරිය-2 චරිතය කියවාගන්නවත් අසමත් වන්නෙ මන්ද?

************************************************************************

සැබෑ ලෙසම මානව සදාචාරය කලමනාකරනය කිරීමේ හා සැබෑ සදාචාරය සිය ජීවන මග කොටගත් අනුගාමිකයන් පිරිසක් බිහිකිරීමට ආගමික ආයතන කැපවී ඇත්නම්, එම ඵලදායී ආයතන පවත්වාගැනීම සඳහා ද්‍රව්‍යමය ආධාර කරන පුද්ගලයන් මාගේ පැසසුමට බඳුන් වෙනවා පමනක් නොව, මාගේ බදු මුදල්ද එවැනි කටයුත්තකට යොදා ගැනීම මට කිසිම ප්‍රශ්නයක් ඇති නොකරයි. එවැනි අර්ථයකින් යමෙකු ආයතනයට “දාන”, “ආධාර”, “පූජා” ලබාදීමේ කිසිම ගැටලුවක් මට නම් නැත. ඇත්තටම කිවහොත්, යහපත් සාමකාමී සමාජයක් තැනීමෙ කර්තව්‍යයට ආගමික සංස්ථා සැබෑවටම කැපවී ඇත්නම්, නිර්-ආගමික අපිට අපේ වැඩක් බලාගෙන පැත්තකට වී සිටිය හැක.

උදාහරණයක් ලෙස කිවහොත් මාගේ බදු මුදල් වලින් ‘මානසික රෝහල්’, ‘සිර ගෙවල්’, ‘ආබාධිත පුද්ගලයට පහසුකම්’, ‘මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය’ ආදී කටයුතු වලට මුදල් වෙන් කිරීම මට ප්‍රශ්නයක් නොවෙනවා පමනක් නොව. මාගෙ බදු මුදල් එවැනි කටයුතු වලට යොදා ගන්නෙ නම් හා එවා අදාල කර්තව්‍යයට නිවැරදිම හා ඵලදායී ලෙස යොදා ගැනීම මාගේ සතුටට හේතුවෙ. මේ කිසිම ආයතනයකින් පෞද්ගලිකව සේවය ලබාගැනීමේ බලාපොරොතුවක් නැත. එසේ නොවේවා යන්න මගේ පැතුමයි. නමුත් එම සේවාවන් අවශ්‍ය පුද්ගලයන් සමාජයේ සිටින බවද, ඔවුන්ට එම සේවාවන් නොලැබී යාම මුලු සමාජයටම අහිතකර ලෙස බලපාන බවද මා දනිමි.

ආගමික ආයතන සම්බන්ධයෙන්ද තර්කය එයමැයි. නිර්-ආගමික මට පෞද්ගලිකව මේ ආගමික ආයතන වලින් සේවා ලබාගැනීමත අදහසක් නැති නමුදු, සේවා අවශ්‍ය අයට ඒවා සැපයීම වැදගත් බව දනිමි.

නිර්-ආගමික අප ආගමික සංස්ථා සමග බද්ධ වෛරයකින් පෙලෙන්නේ යැයි උපකල්පනය කිරීම වැරදිය. අපට මල පනින්නේ, ආගම බලෙන් අපේ ඇඟේ ගැසීමට ඒමෙන් නොනැවතී, සමාජයේ සදාචාර සෝදාපාලුව නැවත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ආගමික ආයතන, වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදාගත හැකි සම්පත් නිකරුනේ කාබාසිනියා කරනු දකින විටය.

Categories: රිටිගල ජයසේන | Tags: , , , , | Leave a comment

Post navigation

අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

A WordPress.com Website.

%d bloggers like this: