සෙකියුලැරිසම් (secularism) හෙවත් ඓහිකත්වය යනු කුමක්ද?

සංස්කාරක සටහන: – මෙම ලිපිය රිටිගල ජයසේන විසින් “සෙකියුලර් ශ්‍රී ලංකා” ව්‍යාපාරය උදෙසා ලියන ලද්දකි. ලිපියේ දිනය පිළිබද නිශ්චිත අදහසක් මා තුල නැති නමුත් 2010 දශකයේ මුල්භාගයේ ලියන ලද්දක් බව දල වශයෙන් කිව හැකිය.

**************************************************

නොයෙකුත් මතවාදයන්/දර්ශනවාදයන් හැඳින්වෙන දහසකුත් එකක් “වාදී” ලේබල් අතර ඓහිකවාදය හෙවත් සෙකියුලැරිසම් තවත් එක් ලේබලයකි. ලාංකීය සමාජය තුල කතාබහට ලක්වන මේ දහසකුත් එකක් “වාදයන්” අතරට, දැනට එතරම් කතා බහ නොවෙන මේ අලුත් වාදයක් හඳුන්වාදීමට අප වෙහෙසෙන්නේ ඇයි. සෙකියුලර් යන ලේබලය ලාංකීය කතිකාව තුල අලුත් දෙයක් විය හැකි නමුත් ජාත්‍යන්තර කතිකාව තුල එය ඉතා පැරනි මතවාදයකි.

මතවාදී ලේබල් ගැන යමක් කියන්නේ නම්. මෙම ලේබල් වැදගත් දේ නොවේ. නමුත් කිසියම් අදහස් සමූහකට පිලිගත් නමක් දීමෙන් ඒ පිලිබඳ කතිකාව පහසු වේ. ඓහිකත්වය යනු මතවාදයක් පමනක් නොව ක්‍රියාකලාපයකි. එයින් කිසියම් දිශානතියක් පෙන්නුම් කරයි. මේ දිශාව ඔස්සෙ ගමන් කිරීම ගැන සාකච්ඡා කිරීමට, එමෙන්ම ඒ දිශානතිය ඇති පුද්ගලයන් හා අදහස් අතින් එක්වීමට මේ “සෙකියුලර්” හෙවත් “ඓහික” යන ලේබලය උපයෝගි කරගත හැකියි. ඇත්තෙන්ම සෙකියුලර් යන වදන ජාත්‍යන්තර කතිකාව තුල හොඳින් නිර්වචනය වී ඇති බැවින්කිසියම් කතාබහකදී මුල සිටම අපගේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලි කිරීම වෙනුවට මෙම ලේබලය භාවිතාකල හැකියි. ඇත්ත වශයන්ම කියතොත් ඔනෑම ලේබයක අවශ්‍යතාවය නම් එය මැයි. එනම් මුල සිට පැහැදිලි කිරීම වෙනුවට තනි වචනයක් යොදාගැනීමයි

ඓහිකත්වය (secularism) යනු යහ-පාලනයක් (good governance) ඇතිවීමට නම් රාජ්‍ය තන්ත්‍රය හා සංස්ථාපිත ආගම් (institutionalized religion) එකෙනෙකා ගෙන් ස්වාධීන වියයුතු යැයි පිලිගැනෙන දේශපානික මතවාදයයි. එසේ නමුත් එවැනි සරල නිර්වචනයකින් මේ කතාව අවසන් කල නොහැක්කේ. බොහෝ අවස්ථාවලදී රාජ්‍යයේ ඓහිකත්වය හා පුද්ගලයෙකු ගේ පෞද්ගලික නිර්-ආගමීකත්වය යන දෙවැදෑරුම් කරුන එකක් දේ වැරදියට හඳුනාගන්න නිසාය. ඓහික මතය යනු රාජ්‍යය නිර්-ආගමික වීම මිස එහි පුරවැසියන් නිර්-ආගමික වීම නොවේ. ඓහික රාජ්‍යක් තුලදී පුරවැසියෙකු ආගමික හෝ නිර්-ආගමික වීම එම පුද්ගයාගේ පෞද්ගලික කරුණකි.

ලෞකිකත්වය/ඓහිකත්වය (සෙකියුලැරිසම්) යනු පහත සඳහන් එක් දෙයක් වත් නොවේ. පහත සඳහන් සංකල්ප සමහර අවස්ථා වලදී ලෞකිකතාව/ඓහිකත්වයය හෙවත් සෙකියුලැරිසම් (secularism) ලෙස වරදවා අරුත් දැක්වේ.

* අදේවවාදය (atheism), දෙවියන් නැතයි විශ්වාශ කිරීම – ආගමික පුද්ගලයන් “ඇතැයි” යනුවෙන් විශ්වාස කරන දේ “නැතයි” යනුවෙන් විශ්වාස කිරීම නිදහස් චින්තනයක් නොවේ. එනමුත්, ඒබ්‍රහමික ආගමින් මිදුනු නිදහස් චින්තනයට පාර වැටී ඇත්තේ මෙවැනි පියවරක් හරහා බැවින් මම ඔවුන්ට පෞද්ගලිකව කැමතියි. එහෙත් මෙය සෙකියුලැරිසම් සඳහා අවශ්‍යවන පියවරක් නොවේ.

* නිර්-ආගමිකත්වය (non-religious) – මෙය අදේවවාදය නොවේ. සාම්ප්‍රදායික අරුත් දැක්වීමට අනුව ‘ආගමික’ මානසිකත්වයක් නොමැතිවීමයි. මොවුන් ආගමික හර පද්ධතීන් වෙනුවට පෞද්ගලික ජීවිතයේදි ලෞකික හර පද්ධතීන් භාවිතා කරනවා. පෞද්ගලිකව ගත්තොත්, මේ ලිපිය ලියන මම පැවත්මෙන් හා මතවාදීමය ලෙස නිර්-ආගමිකයි.

* හේතුවාදය (rationalism) – මෙම දාර්ශනික මතවාදයකි. මෙහි ආදී නිර්වචනය හා භාවිතය කෙසේ වුවද අද මෙම වචනය ලංකාව තුල භාවිත වන්නේ පදනමක් රහිත, විද්‍යාත්මකව සහ හේතුවාදීව පැහැදිලි කල නොහැකි, හුදෙක් විශ්වාසය මත පදනම් වූ මතවාදයන් මිනිසාගේ එදිනෙදා ජීවිතයට බලපෑම් වන තීරන ගැනීමේදී යොදා නොගත යුතු බව සහ අන්ධ විශ්වාස සහ විජ්ජාකරුවන්ට රැවටෙන ජනතාව ඉන් මුදවාගැනීම යන අරමුනු සහිත ක්‍රියකාරීන් හැඳින්වීම සඳහාය.

* බහු ආගමිකත්වය (multi-faith) – බහු ආගමිකත්වය ඇතිවෙන්නේ පුද්ගලික වශයෙන් හෝ සමාජමය වශයෙන් වෙන්න පුලුවන්. මගේ අර්ථදක්වීමට අනුව මෙය එක් මතවාදයක පිහිටා ඉන්න බැරි දුර්වල මනස් ඇත්තන් අභ්‍යන්තර හෝ බාහිරව මත ගැටීම වලක්වා ගැනීමට කරන දෙයක්. එනමුත් ඒ මගේ පෞද්ගලික මතයයි. බහු ආගමික අදහස් ඇතෙතු බොහෝවිට එක් ආගමක පැවසෙන අන්තගාමි අදහස් ප්‍රතික්ශේප කරන නිසා, සැබැවින්ම බහු ආගමික අදහස් ඇති පුද්ගලයෙකු ගෙන සමාජයට යහපතක් මිස අයහපතක් වේ යයි මා සිතන්නේ නැහැ.

* බහු සංස්කෘතිය (multi-culturilsm) බහු සංස්කෘතිය යනු සංස්කෘතිකමය වශයෙන් වෙනස් පුද්ගලයන් එකිනෙකාගේ සංස්කෘතීන් ගරු කරමින් ජීවත්වීම කියන අර්ථයෙන් ගත්තොත් ඒක සෙකියුලැරිසම් සඳහා අවශ්‍ය දෙයක්. නමුත් සෙකියුලැරිසම් කියන්නෙ multi-culturalism නම් නොවේ.

ඉහතකී අදහස් ඇති පුද්ගලයන් බහුතරයක් සෙකියුලර් නැඹුරුවක් ඇති අය වේ. මේ නිසා තමයි ඉහත කී මතයන් සෙකියුලැරිසම් ලෙස වරදවා වටහා ගන්නේ. කෙසේ වුවත් ඉහතකී එක් මතයක්වත් සෙකියුලැරිසම් සඳහා අවශ්‍ය හෝ ප්‍රමානවත් සාධක නොවේ (not necessary or sufficient), එමෙන්ව ඒවා අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරද නොවේ (not mutually exclusive). මෙවා එකිනෙකෙන් ස්වාධීනය(independent). (මෙසේ ගණිතමය අර්ථ දැක්වීමක් කිරීමට අදහස් කලේ වැරදි වටහාගැනීම අවම කිරීමටය.)

උදාහරණයක් ලෙස නිර්-ආගමික පුද්ගලයෙකු වූ මා වැන්නෙකු ගනිමු. මා නිර්-ආගමික වූ පමණින් ඓහික (secular) පුද්ගලයෙකු බවට පත්නොවේ. නිර්-ආගමිකත්වය ඓහික මතයක් දැරීමට බාධාවක්ද නොවේ. මා ආගමික අදහස් පෞද්ගලිකව දරන පුද්ගලයන්ට එම අදහස් දැරීමට ඇති අයිතිය පිලි නොගන්නේ නම්. ආගම රාජ්‍ය තන්ත්‍රය හරහා තහනම් කොට ආගමික ස්ථාන වසා දැමිය යුතු බව සිතන්නේ නම් මා ඓහික(සෙකියුලර්) පුද්ගලයෙක් නොවේ. කෙසේ වුවත් ආගමක් නොඇදහීමට මට ඇති අයිතිය මෙන්ම ආගම් ඇදහීමට අනුන්ට ඇති අයිතියද පිලි ගන්නේ නම් මා හට ඓහික පුද්ගලයෙක් වීමට බාධාවක් නැත.

එහෙනම් ඓහිකත්වය (secularism) යනු කුමක්ද? පෞද්ගලික මට්ටමෙන් ගත්තොත් ඓහිකත්වය හෙවත් සෙකියුලැරිසම් යනු තමන්ගේ ආගමික හා සංස්කෘතික මතවාද පෞද්ගලිකව තබාගෙන, සමාජ ජීවිතයේදී කාටත් පොදුවේ එකඟවිය හැකි, ජීවන රටාවක් අනුගමනය කිරීමයි. රාජ්‍යත්වය ගත්තොත් සෙකියුලර් රාජ්‍යයක් යනු කිසිම ආගමික හෝ සංස්කෘතික මතයකට විශෙෂ සැලකීමක් නොකරන රාජ්‍යයකි.

දැන් මෙතැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. “කාටත් පිලිගතහැකි” කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද? කාටත් පිලිගත හැකි කියන එක ඉතාම සාපේක්ෂ අරුත් දැක්වීමක්. මෙතැනදි තම්යි අන්තවාදින් සහ අන්තවාදී නොවන මත වෙල වෙනසත් පේන්න පටන් ගන්නේ. අන්තවාදීන් සමග “කාටත් පිලිගත හැකි” වගේ මාතෘකා කතා කරන්න වත් බැහැ. හැබැයි අන්තවාදය කියන්නෙත් ඉතාම සාපේක්ෂ දෙයක්. ඉතින් මේ “කාටත් පිලිගත හැකි” දේ කියන එක අපි එලැබෙන සම්මුතියක්. මේ සම්මුතියට එලැබෙන්න නම් ගොඩක් සාකච්ඡා කරන්න ඔනේ. අඩු ගනනේ එහෙම සාකච්ඡා තුලින් තමයි හරි ක්‍රමය මොකක්ද කියල හොයාගන්න පුලුවන් කියන මතවාදයේ ඉඳීම තමයි සෙකියුලැරිසම් වල ආරම්භක පියවර. හරි ක්‍රමය මොකක්ද කියල දෙවියක් වහන්සෙ එතුමාගේ නියෝජිතයන් මාර්ගයෙන් පොතක ලියල තියෙනව කියල හිතන් ඉන්න පුද්ගලයන් එක්ක සෙකියුලැරිසම් කරන්න බැහැ. ඒ වගේම හරි ක්‍රමය මොකක්ද කියල තමන්ගෙ ආගමික ශස්තෘ කියල තියෙනව, ඒ නිවැරදිම ක්‍රමය පරම්පරාවෙන් අපිට හම්බුවෙලා තියෙනව, කියල හිතන් ඉඳිම ගැන කියන්නත් වෙන්නෙ ඒ ටිකමයි.

වෙනස් වන ලෝකයේ වෙනස්වන රටා සමග “හරි ක්‍රමය” කියන එක වෙනස් වෙනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න පුලුවන් මිනිසුන්ටයි. ඒ සඳහා විද්‍යාත්මක දැනුම සමග බද්ධවන චින්තනයක්, හා සාකච්ඡයවෙන් එලැබෙන සම්මුතියක් අවශ්‍යයි කියන පදනමේ ඉන්නවානම් ඔබ ඓහිකත්වය අගයන්නෙක් හෙවත්  ‘සෙකියුලරිස්ට්’ (secularist) කෙනෙක්. ඔබ ‘සෙකියුලරිස්ට්’ කෙනෙක් වීම ඔබේ එක්තරා දේශපාලනමය හා සමාජමය මතයක් පමනයි. එසේ වීම තුල පෞද්ගලිකව බෞද්ධයෙක්, ඉස්ලාම් භක්තිකයෙක්, කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමිකයෙක්, හින්දු භක්තිකයෙක්, පේගන් හෝ වෙනත් සාම්ප්‍රදායික විශ්වාස ඇති තැනැත්තෙක් හෝ පූර්න නිරාගමිකයෙක් වීමට බාධාවක් නැහැ. ඓහිකත්වය යනු රාජ්‍යයන් ක්‍රියාත්මක වීමෙ ආකෘතිය පිලිබඳ දේශපාලනමය මතයක් පමනයි.

Advertisement
Categories: රිටිගල ජයසේන | Tags: , , , | Leave a comment

Post navigation

අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

A WordPress.com Website.

%d bloggers like this: